මාස 4 ක් තුළ සංචාරකයින් මිලියනයක් ආකර්ශනය කර ගත හැකිද?

මාස 4 ක් තුළ සංචාරකයින් මිලියනයක් ආකර්ශනය කර ගත හැකිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දැකිය හැකි බව රජය කියයි.

මේ වසර අවසානයේදි සංචාරකයින් මිලියනයක් සමග ක්ෂේත්‍රය ආශ්‍රිත අපේක්ෂිත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යංශය සඳහන් කළේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පැවසුවේ, ලංකාවේ සංචාරක ව්‍යාපාරය 2018 වසරේදී ඉතාමත් සාර්ථක මට්ටමක පැවති බවයි. එම වසර තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.3කි. එම වසර තුළ සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් විය.

2018 වසරේ ඇති වූ දින 52ක දේශපාලන අර්බූදය හා 2019 වසරේ අප්‍රේල් 21 එල්ල වූ පාස්කු ප්‍රහාරය සමග සංචාරක කේෂත්‍රයේ ප්‍රගතිය අඩාල වූ අතර 2020 ජනවාරි මස සිට කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමග තත්ත්වය තවත් නරක අතට හැරිණ.

පසුගිය වසරේ සංචාරකයින් පැමිණීම එක්ලක්ෂ අනූහතරදාහක් දක්වා පහත වැටුණු බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

මෙම වසර තුළ දැනට ලක්ෂ පහකට ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

දැනට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ආයතන 6,000ක් පමණ ලියාපදිංචි වී තිබේ.

මිලියන තුනකට අධික පිරිසක් සංචාරක ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල නිරතව සිටිති.

2019 වසර තුළ සංචාරක කර්මාන්තයේ බිඳවැටීමත් සමග මෙම ව්‍යාපාරය හා සම්බන්ධ බොහෝ දෙනෙකුට රැකියා අහිමි විය.

2022 අගෝස්තු මස 01 වැනිදා සිට අගෝස්තු 30 වැනිදා අතර කාලය තුළ මෙරට ට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 37001කි.

ඒ අතුරින් තනි රටක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍යයෙනි. එම සංඛ්‍යාව 6682කි.

සංචාරකයින් 5232ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.

ජර්මනියෙන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 3204ක් වන අතර ප්‍රංශයෙන් පැමිණි සංචාරකයින් ගණන 2772ක් වන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

නව සංචාරක ආකර්ශන ස්ථාන පිළිබඳ අවධානය

දැනට සංචාරක ව්‍යාපාරය පළාත් කිහිපයක පමණක් ව්‍යාප්ත වී ඇති නමුත් නැගෙනහිර, උතුරු, වයඹ හා ඌව යන පළාත්වල සංචාරකයින්ට ආකාර්ෂණීය ප්‍රදේශ පවතින බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

සභාපතිවරයා පැවසුවේ දැනට හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ ආකර්ෂණීය ස්ථාන 5500කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවයි.

ඒවාද ඇතුළත් කොට ආයතන 9 ක් ඔස්සේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සැළසුම් කර ඇති බව ඔහු සදහන් කළේය.

සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් පසුබෑමට කෙටිකාලීන පිළියම් ලෙස ලංකාවේ ආකර්ශනීය පාරිසරික ස්ථාන පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙතෙක් වැඩි අවධානයකට ලක් නොවූ ශ්‍රී ලංකාවේ මුහුද අභ්‍යන්තරයේ දක්නා කෞතුක වස්තු, ගිලිණු නැව් හා ඒ වටා මත්ස්‍ය සම්පත් මෙන්ම ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම්, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේදී අවධානය යොමු කර තිබේ.

නූතන අභියෝග ජයගන්නේ කෙසේද?

ලෝක අර්බුදය මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඇතිවූ සමාජ නොසන්සුන්තාව හමුවේ සංචාරක ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක් විය. එහි ප්‍රතිඵල ලෙස සංචාරක හෝටල් කර්මාන්තයේ සිට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත සෑම ක්ෂේත්‍රයක්ම අඩාල වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, පසුගිය කාලය තුළ ලංකාවේ පැවති තත්ත්වය සමග බොහෝ රටවල ලංකාව පිළිබඳ ඉතාමත් වැරදි චිත්‍රයක් නිර්මාණය වූ බවයි.

මෙම තත්ත්වය හට ගැනීමට ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ඇති වූ ඉන්ධන, ගෑස්, ආහාර වැනි ප්‍රශ්න මෙන්ම මුල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත අර්බුදයන්ද දැඩිව බලපෑ බව ඔහු සඳහන් කළේය.

මෙවන් බාධක අභියස වුවද ශ්‍රී ලංකාවට කැමැත්තෙන් එන සංචාරක පිරිසක් මෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළ සංචාරක පිරිසක් ද දැකිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මේ වන විට ඉන්ධන ගැටලුවට යම් දුරකට විසඳුමක් ලබාදීමටත්, ගෑස් ප්‍රශ්නය විසදා ගැනිමටත්, ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින්ගේ ණය සඳහා සහන කාලයක් ලබාදීමටත් හැකි වූ බව පැවසූ ලේකම්වරයා, මේ වන විට රට රටවල ශ්‍රී ලංකාව පිළිබඳ පැවැති අහිතකර බලපෑම ඉවත් වී යාමක් දක්නට ඇති අතර රට අභ්‍යන්තරයේ පැන නැගුණ බාධාවන් ද ඉවත් වෙමින් පවතින බව සඳහන් කළේය.

සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග සැකසීම සැලසුම් සහගත ගමනක් විය යුතු බව පෙන්වා දුන් ලේකම්වරයා, ශ්‍රී ලංකාව ලෝකයේ ලස්සනම දූපත බවට පත් කරමු යන සංචාරක දැක්ම පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකාව එන්න හිතෙන රටක් බවටත්, පැමිණීමෙන් පසු ඉන්න හිතෙන රටක් බවටත්, රටින් බැහැර ගිය පසු නැවත එන්න හිතෙන රටක් බවටත් පත් කළ යුතු බව අවධාරණය කළේය.

වත්මන් සංචාරක ප්‍රතිපත්තියෙහි අඩුපාඩු ඉවත් කර සංචාරක ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් ලබන සතිය තුළ අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් යොමු කිරීමට සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

හෝටල් හිමියන්ට ඇති ගැටලු මොනවද?

හෝටල් හිමියන්ට අනුව ඔවුන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුවක් වනුයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑම හමුවේ සිය මෙහෙයුම් පිරිවැය ඉහළ යෑමයි.

මෙය කලාපයේ සෙසු රටවල් සමඟ තරග කිරීමට ඔවුන්ට බාධාවක් වනු ඇත.

උද්ධමනය හා පොලී අනුපාත ඉහළ යෑමද හෝටල් හිමියන් මුහුණ පා සිටින තවත් ගැටලුවකි.

අලුතින් ණය පහසුකම් ලබා ගැනීම මෙන්ම ලබා ගත් ණය සඳහා වාරික ගෙවා ගැනීම මෙන්ම සේවක වැටුප් ගෙවීමද අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇතැයි ඇතැම් හෝටල් හිමියෝ මැසිවිලි නඟති.

කර්මාන්තයෙන් ආදයම් අඩුවී තිබුණද ඊට සාපෙක්ෂව විදුලි ගාස්තු ,ජලගාස්තු සහ ඉන්ධන මිල බොහෝ සෙයින් ඉහළ ගොස් ඇත.

මේ හේතුවෙන් හෝටල් නවීකරණය හා නඩත්තු කිරීමට බාධා මතුව ඇති අතර භාණ්ඩ ආනයන සීමා පැනවීමද කර්මාන්තයට අහිතකර ලෙස බලපා තිබේ.

පවතින ඉන්ධන හිඟය හමුවේ සහ උද්ධමනය හමුවේ දේශීය සංචාරකයින්ගේ ගමන් බිමන් අඩුවී ඇති අතර හෝටල් ගාස්තු ඉහළ යෑම හමුවේ දීර්ඝ නිවාඩු ගත කිරීම සඳහා සංචාරකයින් පැමිණීම ද අඩුවී ඇත.

රජයේ සහයෝගය අවශ්‍යයයි

මෙරට කයිට් සර්ෆින් ක්‍රීඩාවට ප්‍රසිද්ධ කල්පිටියේ කයිට් සර්ෆින් පුහුණු පාසල් හා නිකේතන හිමියන්ද ප්‍රකාශ කළේ, පෙර වසරවලට සාපේක්ෂව සංචාරකයින් පැමිණිම අඩුවීම හේතුවෙන් තම ආදයම් බෙහෙවින් පහළ ගොස් ඇති බවයි.

"කලින් සාමාන්‍යයෙන් දවසකට විදේශිකයින් 5 දෙනෙක්ට විතර කයිට් සර්ෆින් පාඨමාලා කරනවා. දිනකට අඩුම තුනක්වත් කරනවා. නමුත් දැන් සතියකට එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරයි කරන්නේ," යනුවෙන් "සන් වින්ඩ් බීච් කල්පිටිය" නිකේතනය පවත්වාගෙන යන සුසන්ත ප්‍රනාන්දු පැවසීය.

මේ දිනවල මාලදිවයින, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවලින් කුඩා කණ්ඩායම් වශයෙන් සංචාරකයින් පැමිණෙන බව ඔහු සඳහන් කළේය.

ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් කයිට් සර්ෆින් ක්‍රීඩාව සඳහා අවශ්‍ය උපකරණ මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව සුසන්ත ප්‍රනාන්දු පැවසුවේය.

සංචාරක කර්මාන්තයේ නියුතු පුද්ගලයින් පවසන්නේ රටේ පවතින ආනයන තහනම සෘජුවම සංචාරක කර්මාන්තයට බලපා ඇති බවයි.

ඔවුන් පවසන්නේ විදේශිකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරය කර මෙරට සිරි නැරබීමට බවත් ඔවුන් සාම විටම තමන්ට හුරු පුරුදු ආහාර හා බීම භාවිතයට බොහෝ ප්‍රිය කරන අතර එම ඔවුන් දන්නා සන්නාමයන් යටතේ ඇති ආහාර පාන කිසිඳු සැකයකින් හෝ බියකින් තොරව ලබගටැහැ හැකි බවයි.

එහෙත් රටේ මේ වන පනවා ඇති ආනයන තහනම මත ඔවුන්ට හුරුපුරුදු ජාත්‍යන්තර සන්නාමයන් යටතේ ඇති ආහාර පාන හෝ ඇපල්, මිදී හා දොඩම් වැනි ආනයනික පලතුරු, චොකලට්, රට බීම, යෝගට් වැනි ආනයනික භාණ්ඩ හිඟ වීම හේතුවෙන් සංචාරක කර්මාන්ත විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවයි.

සංචාරක කේෂත්‍රයේ නිරත කර්මාන්තකරුන් පවසන්නේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා රජයෙන් විශාල සහයෝගයක් අවශ්‍ය බවයි.

සුසන්ත ප්‍රනාන්දු කියා සිටියේ කල්පිටිය ප්‍රදේශයේ මාර්ග ඇතුලු යටිතල පහසුකම් ඉතා දුර්වල තත්ත්වයක පවතින බවයි.

විශේෂයෙන්ම අතුරු මාර්ග දීර්ඝ කාලයකින් අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් සංචාරකයින් රැගත් වාහන රැගෙන යාම පවා දුෂ්කර වී ඇති බව සුසන්ත ප්‍රනාන්දු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් සේවකයින් ධීවර කාර්මාන්තයට යොමු වී ඇති බවද ඔහු පැවසුවේය.

කෙසේවෙතත් එළඹෙන දෙසැම්බර් මාසය වන විට තත්ත්වය යථා තත්ත්වය පත්වී සංචාරකයින් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළේය.