''අයියෝ අයියෝ.මම දෙන්නේ නෑ.මේවා දුන්නොත් මගේ දරුවන්ට ඉන්න හිටින්න තැනක් නෑ.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''අයියෝ අයියෝ.මම දෙන්නේ නෑ.මේවා දුන්නොත් මගේ දරුවන්ට ඉන්න හිටින්න තැනක් නෑ.''

"අයියෝ අයියෝ.මම දෙන්නේ නෑ.මේවා දුන්නොත් මගේ දරුවන්ට ඉන්න හිටින්න තැනක් නෑ.මේවා දුන්නොත් අපිට කන්න බොන්න නැතුව මැරිලා යයි"

"අපි ගොවිතැන් කළා.ගෙවතු වගා කළා.අක්කර කාලක් නෙවෙයි.අක්කර තුන හතරක් ගෙවතු වගා කළා.තල් වගා කළා.මේ ඉඩම මගේ දෑවැදි ඉඩම" 79 හැවිරිදි මහේෂ්වරී අප සමඟ කියා සිටියේ අද උදෑසන මුලතිව් වඩ්ඩුවාකල් හිදී තම ඉඩම් නාවික හමුදාව විසින් අත්පත් කරගැනීමට එරෙහිව පැවති විරෝධතාවයකට සහභාගී වෙමිනි.

"මොනවා කියනවාද කියලා තේරෙන්නේ නෑ.මෙච්චර අමරුකම් තියාගෙන මම ඇවිල්ලා ඉන්නවා.කොච්චර දවස් අපි විරෝධතා තිබ්බද.දැන් මට අමාරුයි.මෙයා මගේ මුනුබුරා.අපි දැන් පාරේ තමයි ඉන්නවා" පාරෙහි බිම එක පසෙක බිම වාඩි වී ගිමන් නිවන අතරතුර ඇය කියා ගෙන ගියාය.

මුලතිව් වඩ්ඩුවාකල් හී පිහිටි ගෝඨාභය නාවික හමුදා කඳවුර පුළුල් කිරීම සඳහා ගැසට් කරන ලද අක්කර 617 ක මුල් පදිංචිකරුවන් වන ප්‍රදේශවාසීන් විසින් මේ සඳහා අවස්ථා ගණනාවකදී තම විරෝධතාවය පළකොට තිබේ.

ඒ අනුව විරෝධතාකරුවන් අද (අගෝස්තු 23) මාර්ගය අවහිර කරමින් තම ඉඩම් මැනීමට පැමිණි ඉඩම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට කඳවුර භූමියට ඇතුල්වීම වැළැක්වූ අතර විරෝධතාවයෙන් පසු ඉඩම් මැනීමේ කටයුතු අදාළ නිලධාරින් විසින් අත්හැර දමා ඇත.

"ජාතික ආරක්ෂාව" තහවුරු කිරීම සඳහා මෙම කඳවුරු භුමියේ භූ ප්‍රමාණය විශාල කරමින් ආරක්ෂාව තර කිරීමට මෙම ඉඩම් ලබා ගනිමින් කෙරෙන පුළුල් කිරීම සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා රජය විසින් පවසයි.

කෙසේ වෙතත් 2015 වසරේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය වෙත මෙලෙස යුද සමයේදී අත්පත් කරගත් ඉඩම් ක්‍රමානුකූලව එහි මුල් පදිංචි කරුවන්ට ලබාදීමට කටයුතු කරන බවට එකඟත්වය පළකොට තිබේ.

එලෙස පසුගිය කාලයේ උතුරේ ඇතැම් භූමී ප්‍රදේශ නැවත ජනයා වෙත නිදහස් කෙරුණද පුර්ණ වශයෙන් එය මෙතෙක් සිදු වී නැත.