ශ්‍රී ලංකාවෙන් පළමු මන්කිෆොක් ආසාදිතයා හඳුනා ගැනේ: වඳුරු උණ (monkeypox) යනු කුමක්ද?

වඳුරු උණ දැනටමත් මෙරටට ඇතුලු වෙලාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මෙම ආසාදිතයා නොවැම්බර් 01 වැනිදා ඩුබායි සිට දිවයිනට පැමිණි අයෙකි.

ඔහු 20 හැවිරිදි තරුණයකු බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

කෙසේවෙතත් මෙම ආසාදිතයා පිළිබඳ වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.

වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණි.

රෝගය පැතිරෙන්නේ කෙසේද?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවී විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් වඳුරු උණ මර්දනය පිළිබඳ මීට පෙර මෙසේ අදහස් පළ කළේය.

ඔහු පැවසුවේ වඳුරු උණ ආසාදනය වීම සඳහා සෘජු සහ තිව්‍ර සම්බන්ධතාවක් තීබීම අත්‍යවශ්‍ය බවයි.

"කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයට සාපේක්ෂව පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මේක ආසාදනය වීමට ඇති හැකියාව අඩු මට්ටමක තියෙන්නේ. රෝග ලක්ෂණ රහිත කෙනෙක්ගෙන් බෝවෙන්න පුළුවන්. හැබැයි හැකියාව ඉතා අඩුයි."

පැතිරෙන ක්‍රමමොනවද?

වඳුරු උණ ඩී.එන්.ඒ වෛරසයකි. එය සතුන් අතර පැතිරෙන වෛරසයකි. අප්‍රිකානු රටවල් ආශ්‍රිතව සතුන් ආශ්‍රිතව ගැවසෙන ලද පුද්ගලයින් ඇසුරින් මෙය මූලික වශයෙන් මිනිසුන්ට ආසාදනය වී ඇත.

රෝගීන් ළඟින් ඇසුරු කිරීමේ දී මිනිසුන්, මිනිසුන් අතර රෝගය පැතිරයා හැකියි. වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේ, පුද්ගලයින්ගේ සම ආශ්‍රිතව සෘජුව රෝගය පැතිරයා හැකි බවයි. ස්ලේශ්මල පටල ආශ්‍රිතව ද රෝගය පැතිරයා හැකියි.

"රෝගී පුද්ගලයෙකු භාවිත කළ ඇඳ ඇතිරිලි, ඇඳුම් ආශ්‍රිතව සමීප සබඳතා තිබ්බොත් බෝවෙන්න පුළුවන්. සෘජු සබඳතා තුළින් බෝවෙන්න පුළුවන්." මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

"වාතය හරහා බෝවීමක් නැතත්, බිඳිති හරහා සෞඛ්‍ය සේවකයින්ට රෝගය පැතිරෙන්න පුලුවන්."

"මූලික ආරක්ෂණ ක්‍රමවේද මඟින් වඳුරු උණට විශාල ආරක්ෂාවක් ලැබෙනවා." ඔහු සඳහන් කළේය.

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, "රෝගී පුද්ගලයාගේ සම මත ඇතිවන රෑෂ් එකක් වගේ එකක් ඒකේ තියෙන ශ්‍රාවයන් ගෑවුනොත් තමයි බෝවෙන්නේ. ඒවගේ ගැටීමක් වුණොත් තමා බෝවෙන්නේ."

වඳුරු උණ 1958 වඳුරන්ගෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව එය මන්කිපොක්ස් ලෙස නම්කර තිබේ. පළමු රෝගීයා 1970දී කොංගෝවෙන් හඳුනා ගෙන තිබේ.

මහාචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ "1980ට කලින් වසූරිය සඳහා එන්නත් කළා. වසූරිය එන්නත මඟින් මන්කිපොක්ස් වලට ආරක්ෂාව ලැබුණා. 85%ක් පමණ. වසූරිය ලෝකයෙන් තුරන් කරලා තියෙන්නේ. 1980 න් පසු උපත ලද අයට වසූරිය එන්නත ලබා දී නැහැ."

"ලංකාවේ දැනට වසූරිය එන්නත නැහැ. රෝගය තුරන් කිරීමෙන් පසු එන්නතේ අවශ්‍යතාව අඩුවුනේ."

"වඳුරු උණ ගත්තාම ප්‍රධාන ප්‍රභේද 02 ක් තියෙනවා ලෝකයේ පැතිරෙන. රෝගය ආසාදිතව මිය යෑමේ හැකියාව 10%ට අඩුයි. ලංකාවේ මෙතෙක් කිසිදු රෝගීයෙක් හමුවෙලා නැහැ." මහාචාර්යවරයා අවධාරණය කළේය.

වඳුරු උණට එන්නතක් තිබේද?

මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ, වඳුරු උණ සඳහා එන්නත්කරණය සීමා සහිත බවයි.

අමෙරිකාවේ එන්නත්කරණය ආරම්භ කර ඇත. අමෙරිකාවේ විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

"මුණ ගැහීමෙන් දින 04ක් තුළ එන්නත ලබා දුන්නොත් රෝගය වැළඳීම වළක්වා ගන්න පුළුවන්. දින 04ක් තුළ එන්නත දෙන එක ඉතා වැදගත්. හැඳෙන එක වළක්වා ගන්න පුළුවන්. දින 14ක් ඇතුලත එන්නත ලබා දුන්නොත් රෝග තිව්‍රතාවය අඩු කර ගන්න පුළුවන්. දැනට කිසිවෙකු කළබලවෙලා වසූරිය එන්නත හොයාගෙන යාමේ අවශ්‍යතාවක් නැහැ." මහචාර්යවරයා අවධාරණය කළේය.

රෝග ලක්ෂණ මොනවද?

මහාචාර්යවරයා පෙන්වා දුන්නේ "ඕනෑම වෛරස් රෝගයක් ආරම්භ වන්නේ උණත් එක්ක. උණ ඇඟපත වේදනවා. මේක වෙනත් රෝග වලින් හඳුනගන්න පුළුවන් විශේෂිත රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. වසා ගැටීති ඉදිමීමෙන්, අපි කියනවා කුද්දටි කියලා. ප්‍රධානව බෙල්ල ආශ්‍රිතවයි සිදුවන්නේ. හැබැයි එහෙම නොවෙන අවස්ථාත් තිබෙනවා."

"ඊට අමතරව සම මතු පිට පළු දැමීමක්, බිබිලි දැමීමක් සිදුවෙනවා. ඒක මුළින් පටන් ගන්නේ රතු පැල්ලමක් විදිහට. ඊට පස්සේ වතුර බුබුළක් බවට පත්වෙනවා. ඊට පස්සේ සැරව බුබුළක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමා සුව වෙලා කබොල්ලක් විදිහට ගැලවිලා යන්නේ. ඒවගේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්."

රෝග ලක්ෂණවල වෙනසක් තිබේද?

වඳුරු උණ (Monkeypox) රෝග ලක්ෂණ
ඡායාරූප ශීර්ෂ වැකිය, වඳුරු උණ (Monkeypox) රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

"නව රෝගලක්ෂණ මතුවෙනවද කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යයනය කරනවා. වෙනසක් වුණාද කියලා. නව රෝග ලක්ෂණ සොයා ගැනීමක් නැහැ." මහාචාර්යවරයා සඳහන් කළේය.

රෝගය බරපතල විය හැක්කේ කාටද?

මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ "කොවිඩ් වගේ නෙමේ මේකෙදී ප්‍රධාන ලෙස දරුවන්ට හැඳුනොත් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒකට හේතු 02ක් තියෙනවා. අපේ වැඩිහිටි පරම්පරාව බොහෝ විට වසූරිය එන්නත ලබා ගෙන තියෙන්න පුළුවන්. අවුරුදු 20කට 30ට පෙර වසූරිය එන්නත ලබා ගත්තත්, යම් හෝ ආරක්ෂාවක් ලැබෙන්න පුළුවන්."

"අනිත් එක තමා දරුවන්ගේ දරුණු රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඇස් නොපෙනී යාම, හම මත දරුණු ආසාදන ඇති වෙන්න පුළුවන්. නිව් මෝනියා වැනි දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන් දරුවන්ට. හැබැයි මිය යන ප්‍රමාණය ඉතා අඩුයි. දැනට මරණ 5ක් විතර තමා සිද්ධ වෙලා තියෙන්නේ. දරුණු රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන් දරුවන්ට."

සමලිංගිකයින් අතර පැතිරීම වැඩිද?

"සමලිංගික පිරිමි පුද්ගලයින් අතර. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්තා වී ඇති රෝගීන්ගෙන් 98%ක් විතර වාර්තා වෙන්නේ සමලිංගික පිරිමි පුද්ගලයින් අතර. නමුත් මෙයින් අදහස් වන්නේ නැහැ. මේක සමලිංගිකයින් අතර විතරක් තියෙන රෝගයක් එහෙම නැති නම් මේක ලිංගාශ්‍රිතව බොවන රෝගයක් කියලා, එහෙම කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ. නැත්නම් මේකත් එක්ක ලේබල් එකක් වදිනවා මේක ලිංගාශ්‍රිත රෝගයක්. මේක සමලිංගිකයින් අතර රෝගයක් කියලා. එහෙම එකක් නෑ." මහාචාර්යවරයා අවධාරණය කළේය.

සාමාන්‍ය සිපවැළඳ ගැනීමකින් රෝගය පැතිරෙන්න පුලුවන්ද?

"සම මත හැදෙන තුවාල බිබිලි වලින්, ද්‍රාවණ වලින් ආසාදනය වෙන්න පුලුවන්, තුවාල වලින් හැඳීමේ හැකියාව වැඩියි. දින 21 වෙනකන් හොඳින් නීරීක්ෂණය කරන්න ඕනේ. රෝග ලක්ෂණ මතුවෙනවද නැද්ද කියලා.

"විශේෂිත ප්‍රතිකාර අල්ප වශයෙන් තියෙන්නේ. එක්කෙනෙක්ගෙන් තවත් අයෙකුට පැතිරෙන එක වළක්වා ගැනීම තමා වැදගත් දේ." ඔහු සඳහන් කළේය.

ප්‍රතිශක්තිකරණ ඌණතා තියෙනවා නම්?

ප්‍රතිශක්තීකරණ ඌණතා තිබේ නම්, දරුණු තත්ත්වයන්ට යෑමේ හැකියාවන් තියෙනවා. දියවැඩියාව තියෙනවා නම්, ප්‍රතිශක්තිකරණ ඌණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.පිලිකා රෝගීන්ට, වකුගඩුරෝගීන්ට වගේ අය ආරක්ෂා වෙන එක අවශ්‍යයයි.

ඒවගේ අය මාර්ස්ක් එකක් දාගෙන ඉන්න එක වැදගත්. වඳුරු උණ නොවේ යලි හිස ඔසවා තිබෙන කොවිඩ් 19න් ආරක්ෂා වෙන්නත් ඒක ඉතාම වැදගත්. වගකීම් සහිතව හැසිරුණොත් අපිට පුළුවන් ආරක්ෂා වෙන්න. මහාචාර්යවරයා අවධාරණය කළේය.

රෝගය හඳුනා ගැනීමේ තාක්ෂණය තිබේද?

මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ, "පෙර සූදානම කරලා තියෙනවා. රෝගය තහවුරු කිරීමට පරීක්ෂණගාරයක PCR කරන්න ඕනේ. අපිට පුහුණු සේවකයින් ඉන්නවා. අවශ්‍ය උපකරණ තියෙනවා. පරීක්ෂණාගාර කට්ටල ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. දැනටමත් අවශ්‍ය පරීක්ෂණාගාර කට්ටල ගෙන්වා තිබෙනවා. රෝගය හඳුනා ගැනීමේ පහසුකම් අපිට තියෙනවා."