පෝලිම්වල දරු උපතක් සහ විපත් දෙකක්

පෝලිම් මෙරට නූතන ජනජීවිතයේ දෛනික දින චර්යාවේම කොටසක් බවට පත්ව තිබේ. අද පෝලිම් වලින් වාර්තා වුයේ දරු උපතක් සහ විපත් දෙකකි.

ඉන්ධන නැව් එන දින ගැන නිශ්චිත තහවුරුවක් නැතැත්, ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල නම් මෙතෙක් අඩුවක් නැත.

පාස්පෝට් පෝලිමේ දරු උපතක්

අද (ජූලි 7) උදෑසන 07.40 ට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි ගැබිනි කාන්තාවක ප්‍රසූත වේදනාවෙන් පෙළෙන බව දුටු එහි යුද හමුදා භටපිරිස් ඇය රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුරදී ඇය දරුවා බිහිකොට ඇත.

ඇයව ට්‍රොලියක දමා, ආවරණය කර හමුදා භට පිරිස් ඇයව රෝහල කරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල පළව තිබුණි.

පසුව හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක වන 26 හැවිරිදි මව සහ දරුවා බොරැල්ල කාසල් වීදියේ රෝහලට ඇතුළත් කිරිමට ඔවුන් පියවර ගෙන තිබුණි.

තවත් මරණ දෙකක්

අද දිනයේ ඉන්ධන පෝලිම් වලින් තවත් පුද්ගලය මරණ 02ක් වාර්තා විය. ඒ පයාගල සහ බම්මබලපිටිය ප්‍රදේශවලිනි. ඒ සමඟ මෙරට ඉන්ධන පෝලිම්වලදී සිදුවු මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.

පයාගල පිහිටි ලංකා අයිඕසී (LIOC) ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටියදී 60 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු මෙසේ මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.

මෙහිදී මියගොස් ඇත්තේ පෞද්ගලික ආයතනයක ජංගම අයිස් ක්‍රීම් අලෙවි රථයක රියදුරෙකි.

ඔහු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දින තුනක සිට පෝලිමේ රැදී සිටි ඔහු අද අලුයම 1.30ට පමණ හදිසියේ අසනීපව සිටියදී පෝලිමේ සිටි තවත් ත්‍රීරෝද රථයකින් කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.

මේ අතර බම්බලපිටිය ලංකා IOC පිරවුම්හලක පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු අද අලුයම මිය ගියේය.

60 හැවිරිදි එම පුද්ගලයා පුත්තලමේ පදිංචිකරුවෙකි. වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ සිය දියණියගේ නිවසේ ඔහු වාසය කර තිබේ.

ඔහු සිව්දරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලදාරීයා විසින් අද (ජූලි 7) පවත්වනු ලැබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයකින් ඔහුගේ මරණය සිදුව ඇති බවයි.

රෝගී තත්ත්වයෙන් පෙළෙන සිය මුණුබුරෙකු හෙට දිනයේ රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන යාමට ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමකට ගිය අවස්ථාවේදී ඔහු මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවට පවුලේ සාමාජිකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.

පසුගිය දින කිහිපය තුළම ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයින් මෙවැනි සිදුවීම්වලට මුහුණ පෑ අවස්ථා වාර්තා වූ අතර මහජනතාවගේ සහයෝගයෙන් කඩිනමින් රෝහල්ගත කිරීම නිසා ජීවිත බේරාගත් අවස්ථා පිළිබඳවද වාර්තා විය.