ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අද නිදහස සමරන්නේ විදේශිකයින්ගේ ආධාර උපකාර මත - මහාචාර්ය පෙරේරා
ශ්‍රී ලංකා පුරවැසියෝ අද 74 වැනි ජාතික නිදහස් දිනය සමරති.
අප ආදී මුතුන් මිත්තන් ලේ දහදිය වගුරා අධිරාජ්‍යවාදීන් සමග සටන්කර දිනාගත් නිදහස, දශක 7කට අධික කාලයකට පසු අද යළි අභියෝගයට ලක්ව ඇත.
අද රටේ අනාගත දිශානතිය ගැන ජනතාව තුළ අවිනිශ්චිත තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ.
එක් පැත්තකින් ආර්ථික අර්බුදයකටත්, විනිමය අර්බුදයකටත්, ණය අර්බුදයකටත් මැදිව සිටින ශ්‍රී ලංකාව බලශක්ති හා විදුලි අර්බුදයකට ද මුහුණ පා සිටියි. තවත් පසෙකින් ඇති හැකි පිරිස් මෙරටින් වෙනත් රටවලට සංක්‍රමණය වීමේ ප්‍රවණතාව සමග බුද්ධි ගලනයක් ද සිදුවෙමින් පවතීයි.
මේ නිසා දිනාගත් නිදහස අභිමානවත්ව සැමරිය හැකිදැ යි මේ වන විට පවතින්නේ ප්‍රශ්නාර්ථයකි.
ජාතික නිදහස් සැමරුම
ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති, අග්‍රාමාත්‍ය, උපදේශකවරුන්, ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති මෙන්ම සීමිත පාසල් සිසුන් සංඛ්‍යාවක් හා ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් අද (පෙබරවාරි 04) දින නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වී ය.
මෙවර ජාතික නිදහස් උළෙල සමරනු ලබන්නේ, 'අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්' තේමාව පෙරටුකර ගනිමිනි.
හැත්තෑ හතරවන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් 6500 දෙනෙකු සහභාගී විය.
එමෙන්ම, මෙවර නිදහස් දින පෙළපාලියට විවිධත්වයක් එක්කරමින් පාසල් සිසුන් 45 දෙනෙක් සහ සංස්කෘතික කලාකරුවෝ 431 දෙනෙක් ද නිදහස් පෙළපාලිය සඳහා සිය දායකත්වය සපයණු ලැබිය.
74 වන නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පෙබරවාරි 01 සිට 06 දක්වා රුක් රෝපණ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ප්‍රදර්ශනාත්මක උත්සව දරාගත හැකිද?
ශ්‍රී ලංකාව 74 වැනි නිදහස සමරන්නේ ඇත්තටම රට තුළ නිදහසක් තිබියදීදැ යි, වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ප්‍රශ්නකර සිටියේ ය.
"නිදහස වෙනුවෙන් පවත්වන අභිමානවත් පෙළපාලියට අවශ්‍ය තෙල් ටික ගන්න ඉන්දියාවෙන් ණයට සල්ලි ඉල්ලන තැනක ඉඳලා තමා අපි නිදහස ගැන කතා කරන්නේ. අද දවසේ අහසේ පියාසර කරන ගුවන් යනා සියල්ල ඉන්දියාවේ පිහිටෙන් ණයට ගත්තු තෙල්වලින් දුවන ආර්ථිකයක ඉඳලා තමා අපි නිදහස සමරන්නේ. අවුරුදු 74ක් ගිහිල්ලා, අපි ආපසු පිටුපස හැරිලා බැලුවම අපි නිදහසක් ලබල ද, නිදහසක් භුක්ති වින්ද ද, සුද්දන්ගේ කාලෙටත් වඩා අපි පරගැතිභාවයකට තල්ලුවෙලා ද කියලා හිතෙනවා. විදේශිකයින්ගේ ආධාර උපකාර මතනේ අද නිදහස සමරන්නෙත්," ඔහු පවසා සිටියේ ය.
මහචාර්යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සෞභ්‍යාග්‍යතා දර්ශකය දිගින් දිගටම පහතවැටෙමින් ඇති බව යි. රට තුළ නැවතෙන්නට කැමති පිරිස ඉතාමත් අඩු ප්‍රතිශතයම් බවයි.
"ජීවත් වෙන්න පුළුවන් රටක් වෙනුවට, වෙනත් රටකට යන්න බැරි නිසා මෙරට ජීවත්වෙන රටක් නිර්මාණය කරපු කාලයක් අපි පහුගිය කාලේ දැක්කේ. වර්තමාන බුද්ධි ගලනය සහ ජනතා අප්‍රසාදයත්, ජනතා කලකිරීම ඉතා ඉහළ තැනක ඉඳන් තමා අපි 74 වැනි නිදහස ගැන කථා කරන්නේ.
"මීළඟ මාසේ මේ රටේ මිනිස්සු කනව ද බොනව ද කරුවළේ ඉන්නවා ද නැද්ද කියලා තීරණය කරන්නේ අපි නෙමේ, එක්කෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙම නැත්තම් චීනය, ඉන්දියාව, එහෙම නැත්නම් අනෙකුත් රාජ්‍යයන් කියලා කියන්න පුළුවන්. එතකොට කොහෙද අපිට නිදහසක් තියෙන්නෙ කියලා කෙනෙකුට කියන්න පුළුවන්.
"අපි ඇත්තටම නිදහස ලැබුවට පස්සේ අපි මෙච්චර පරාදීන වෙච්ච, මේ තරම් බෙලහීන වෙච්ච ජාතියක් හැටියට සමරන පළමු නිදහස තමා මේ 74 වැනි නිදහස කියලා කියන්නේ," මහචාර්ය පෙරේරා ප්‍රකාශ කළේ ය.
"ලංකාව පුරුදු වෙලා තියෙන්නෙම 'නැවෙන් බඩට' කියන සංකල්පයට. ආනයන කරලා පරිභෝජනය කරන ජනතාවක් විදිහට තමා අපි පුරුදු කරලා තිබ්බේ. අද පිටරටින් භාණ්ඩ ගෙනාවේ නැත්නම් අපි බඩගින්නේ. එක්කෝ කරුවළේ."
නූතන අභියෝග
පෘතුග්‍රීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයටන්ට ගොදුරුව රටේ සම්පත් සූරාකෑමට ලක්වූ ශ්‍රී ලංකාව මේ වන විට නූතන තර්ජනවලට මුහුණ පා ඇත්තේ, වෙනත් රටවල භූ දේශපාලනික අභිලාශයන්ට මැදිව සිටින ඉන්දීය සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස යි.
එක්සත් ජනපදයේ නිදහස් - ඉන්දු පැසිෆික් ප්‍රතිපත්තියත්, චීනයේ එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තියත්, ඉන්දියානු බලපෑමත් එක ලෙස ශ්‍රී ලංකාව දෙසට එල්ල වී ඇති බව නොරහසකි.
"අවුරුදු 74ක් තුළ හිටපු විවිධ ආණ්ඩු අපිව වෙනත් රාජ්‍යයන්ට උකස් කරලා ඔවුන්ගේ සුඛවිහරණය සඳහා කටයුතු කරපු නිසා, අද අපේ රටේ තියෙන සම්පත් අපිට තර්ජනයක් වෙන තැනට අපි තල්ලු කරලා තියෙනවා. ඉන්දියාව තෙල් දෙනවා. ඉන්දියාව ආහාර දෙනවා. හැබැයි කියනවා අපිට ත්‍රිකුණාමලය තියෙන තෙල් ටැංකි ටික දෙන්න කියලා."
"චීනයෙන් අපිට ණය දෙනවා. ඔවුන්ට අපේ වරායවල්, අවශ්‍ය භූමියේ සම්පත් ටික දෙන්න ඕනේ. මේ විදිහට අපි අපේ දෙපළ උගස් කරලා තමා අපි හෙට දවසේ ජීවත් වෙන්නේ. පවුලක වුණත් කෙනෙකුට බැරිම චෙච්ච තැනක තමා තමන්ගේ කණකර උගස් තියන්නේ. හැබැයි 2019 වසරෙන් පස්සේ අපි රත්‍රං ටොන් 13.5කට වැඩි ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඒවා විකුණලා තමා අපි කෑම කන්නේ. දේපළ ටික විකුණලා තමා අපි ආහාර ටික ගෙන්න ගන්නේ," මහාචාර්යවරයා තවදුරත් පැවසීය.
'ශේෂ වෙච්ච පිරිසක්' ඉතුරුවෙයි
මහාචාර්ය පෙරේරා පවසා සිටියේ ඇතිහැකි අය මෙරටින් පිටව ගිය පසු 'ශේෂ වූ පිරිසක්' මෙරට ඉතිරි වනු ඇතිබව යි.
"අද ජනතාව කියනවා සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ට මේ රට භාරදුන්න නම් මෙච්චර දෙයක් වෙන්නේ නැහැ කියලා. ජනතාව පිළිගන්නවා, මේ රටේ පාලකයින්ට කිසිම හැඟීමක් නැහැ, ජනතාව ගැන, රට ගැන සහ රටේ අනාගතය ගැන. මොකද ඔවුන්ගේ සියලු දේපළ, පරම්පරාව ඉන්නේ වෙන රටවල. ඔවුන්ට මේක බද්දට ගත්ත ඉඩමක් විතර යි. ඔවුන් මේ රටට අහේනියක් වෙච්ච දවසකට ඊළඟ පේලේන් එකේ නැඟලා වෙනත් රටකට යයි. මේ රටේ ජීවත් වෙන ජනතාව මොකද්ද වෙන්නේ කියලා අවිනිශ්චිත තත්ත්වයකින් ඉන්නේ."
මහාචාර්යවරයා සඳහන් කළේ, "යන්න පුළුවන් හැම කෙනෙක්ම ගිහාම ඉතිරි වෙන්නේ කිසිමදෙයක් කර ගන්න බැරි ශේෂ වෙච්ච්ච පිරිසක්. මේ දේශපාලනඥයින්ට පුළුවන් වෙයි, ඒ අයවත් බොරු කරලා, රවට්ටලා තමන්ගේ බලය තහවුරු කර ගන්න," යන්නකි.
"අවසානයේ නිදහස ලබලා අවුරුදු 75දීත්වත් අපිට කියන්න වෙන්නේ, ශ්‍රී ලංකාව කියලා හොඳ රාජ්‍යයක් තිබුණා කියලා විතර යි. ඒකට විසඳුම් හොයනවා ද නැද්ද කියන එක රජයට තාම විවෘත යි. මම හිතන්නේ මේකට තාම විසඳුම් තියෙනවා. රජය උත්සාහ කළොත් අපිට මේ ගැටලුවට මාස කිහිපයක් ඇතුළත විසඳුම් සොයන්න පුළුවන්," මහාචාර්ය පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ අතරේ සමාජ මාධ්‍යවල ද බොහෝ දෙනෙකු මතුකර තිබූ කාරණයක් වූයේ, රට ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පැවැතිය දී ජාතික නිදහස් සමරු උලෙළ අභිමානවත්ව සැමරිය හැකිදැ යි යන්න යි.
ඒ සම්බන්ධයෙන් විවිධ පෝස්ටු පළවී තිබෙනු දක්නට ලැබුණි.
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත යි"
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසන්නේ ශ්‍රී ලංකාව නිදහසින් පසු ආපස්සට ගිය ජාතියක් බව යි. මීට හේතු වූ කරුණු, වගකිවයුතු පුද්ගලයින් ගැන අවුරුදු හැත්තෑ තුනකට පසුකතා කතා කිරීම ඵලරහිතයැ යි ඔවුන් පවසයි.
තමන් මෙම අදහස් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හෝ රජය අපහසුතාවට පත්කිරීමේ චේතනාවෙන් නොවන බව ද එම ව්‍යාපාරය පෙන්වා දෙන අතර, මේ විනාශ වෙමින් තිබෙන රට ප්‍රකෘතිමත් කිරීමට නම් අවුරුදු හැත්තෑ තුනකට පසු දැන්වත් වැරදි නිවැරදිකර ගත යුතු බව ඔවූහු පෙන්වා දෙති.
"වර්තමාන අගාධයෙන් මිදීමට අපට අලුත් ගමන් මාර්ගයක යා යුතු යි. ජාතික, ආගමික, හා දේශපාලන සමගිය ඇති විය යුතු යි. අන්තර්ජාතික ගෞරවය උපයාගත යුතු යි. තවමත් එය සිදුවී නැහැ. ඇත්තේ බලය රැක ගැනීමට හා බලය ලබාගැනීමට කෙරෙන පොරයක්," ඔවුන් ප්‍රකාශ කරයි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කළේ, "මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කිරීම ගැන අන්තර්ජාතික ප්‍රජාව හමුවේ ලබන මාර්තු හා සැප්තැම්බර් මාසවල අපට චෝදනා ඇති වේවි. මේවාට සාර්ථකව මුහුණ නොදුනහොත්, භයානක ප්‍රතිඵලවලට අපගේ අහිංසක ජනතාවට මුහුණදෙන්න සිදුවෙනවා," යනුවෙනි.
"අපි ත්‍රස්ථවාදයට විරුද්ධ වෙමු. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ලෝක ප්‍රජාවගේ ගෞරවය දිනාගැනීම ඉතා වැදගත්. PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) සංශෝධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත පියවරක් ලෙස අප දකිනවා,"යි ප්‍රකාශ කළ එම ව්‍යාපාරය, මෙම පනතේ ඇතැම් බලතල වැරදි අන්දමින් හා දේශපාලන හේතු මත ගෙනඒම නිසා රජයේ ගරුත්වයට විශාල හානියක් සිදුවූ බව ද පවසා සිටියේ ය.
එම ව්‍යාපාරය ඉල්ලා සිටින්නේ රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට නිදහස් දින ජනපති සමාව ලබාදීම ගැන නැවතත් සිහිපත් කරන බව යි. එසේ නොකර එක් රටක් එක් නීතියක් ගැන කතා කිරීම ජනතාව මුලා කිරීමක්යැ යි ද එම ව්‍යාපාරය සඳහන් කළේ ය.
කාදිනල් හිමිපාණෝ නිදහස් උත්සවය වර්ජනය කරති
බොරැල්ලේ දේවස්ථානයක දී හමුවූ අත්බෝම්බයේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුනොවීම නිසා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ජාතික නිදහස් උළෙලට සහභාගී නොවන බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසයි.
සෑම නිදහස් සැමරුමක් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ දේව මෙහෙය බොහෝ අවස්ථාවල දී පැවැත්වෙන්නේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානෙයේ දී ය. නමුත් මෙවර එම දේව මෙහෙය නොපැවැත්වීමට ද කාදිනල් හිමිපාණන් තීරණය කර ඇති බව සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියේ පෙබරවාරි 03 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අහිංසක නිර්දෝෂී පුද්ගලයින් තවමත් රඳවා තබාගෙන සිටින බව උන්වහන්සේ එහිදී තවදුරත් පැවසූහ.
සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ, ඒ හේතුවෙන් කාදිනල් හිමිපාණන් මෙම දේව මෙහෙය සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ නොපැවත්වීමට තීරණය කර ඇති බව යි.
"අපි අදහස්කරන්නේ අත්බෝම්බයේ සිදුවීම තුළ සිදුවෙච්ච අසාධාරණය, අහිංසකයින් නිර්දෝෂී බව හොඳටම පෙනි පෙනී ඒ අයව රඳවා තබාගෙන තැබීම අපට වේදනාවක් දැනෙන දෙයක්. ඒක අපි හැමෝටම කම්පනයක් ඇති කළ දෙයක්. ඒ නිසා අපි මේ නිදහස් දවසේ දී දෙවියන්වහන්සේට යාඥා කරනවා නිදහස් දිනයේ දී මේ විදිහේ අසාධාරණකම් සිදු නොවන රටක් අනාගතයේ දී ලැබේවා කියලා," පියතුමා ප්‍රකාශ කළේ ය.