ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ වැවෙන ගංජා ප්‍රභේදය විදෙස් ප්‍රභේදයන් මෙන් සිරුරට අහිතකර නැති ද?
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
ගංජා භාවිතාව නීතිගත කළ යුතුයැ යි හඬක් සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ වරින් වර මතුවෙයි. මෙම ඉල්ලීමට ජනතාවගෙන් මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් ද පක්ෂවත්, ප්‍රතිපක්ෂවත් කරුණු ඉදිරිපත් වෙයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රිනී ඩයනා ගමගේ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී, "රජයේ අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කළ යුතුයැ" යි ද යෝජනා කළා ය.
මන්ත්‍රී ඩයනා ගමගේ ගේ යෝජනාව
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අවධාරණයකර සිටියේ ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අවස්ථාව පවතිනබව යි.
තේ, රබර්, පොල් වැනි වාණිජමය භෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ, ස්වභාවධර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගතකර අපනයනයට මෙය කදිම අවස්ථාවක්බව ද ඇය සඳහන් කළා ය.
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පැවසුවේ, කංසා වාණිජ භෝගයක් ලෙස වගාකර අපනයනය කළහොත්, තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය අයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවනබව යි.
"අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාවධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි," යනුවෙන් ඇය සඳහන් කළා ය.
ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරනබව පැවසූ ඇය, එලෙස නිෂ්පාදනය කරන ලද රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත්, දත් බුරුසු වැනි දේ කීපයක් ජනතාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද සභාව තුළට රැගෙන ඒමට තමාට අවසර නොලැබුණුබව මන්ත්‍රිනී පැවසුවා ය.
ඇය වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේ, රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගතකර අපනයනයකර විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒමට ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනතබවත්, එය අහෝසි කළ යුතුව ඇතිබවත් ය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය ගංජා වේ. කංසා, "මල්" සහ වෙනත් නම්වලින් ද හැඳින්වෙන ගංජා ලංකාවේ වයස අවු. 14ට වැඩි ජනගහණයෙන් 1.9%ක ප්‍රතිශතයක් භාවිතා කරයි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2019 වසරේ ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ 301,898ක් දෙනා ගංජා භාවිතා කරයි.
ගංජා සැබැවින්ම අහිතකර ද? එහි හිතකර භාවිතාවන් තිබෙනවා නොවේ ද? ලංකාවේ වැවෙන ගංජා ප්‍රභේදය විදෙස් ගංජා ප්‍රභේදයන් මෙන් සිරුරට අහිතකර නැති ද? විනෝදය සඳහා ගංජා භාවිතාව නීතිගත කළ යුතුයැ යි ඉදිරිපත් වන ඉල්ලීම සමග මෙම ගැටලු ද ඉදිරිපත් වේ.
අප මෙම ගැටලු සියල්ල වෛද්‍යවරුන් මඬුල්ලක් වෙත යොමු කළෙමු.
ගංජා "යකා" කියන තරම් කළු ද?
ගංජා පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පැන නගින තර්කයක් වන්නේ එය භාවිතාව මානසික සෞඛ්‍යයට අහිතකරබව යි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළේ ය.
මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා පවසන්නේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ගංජා භාවිතා කරනවුන්ට සයිකෝසියාව වැනි රෝග ලක්ෂණ සහ භින්නෝන්මාදය වැනි මානසික රෝග වැළඳීමේ අවදානම 2.5% සිට 8% දක්වා ඉහළ යතැ යි විද්‍යාත්මකව සනාථකර ඇතිබව යි. පවුලේ ඥාතියෙකුට මානසික රෝගයක් තිබේ නම් මෙම අවදානම තවත් ඉහළ බව ඔහු සඳහන් කළේ ය.
"අපි දැනට වුණත් මානසික රෝහලට ගියොත්, ගංජා භාවිතාව නිසා ලෙඩ වෙච්ච, දැනට පවතින රෝග උත්සන්න වෙච්ච, සහ රෝග ලක්ෂණ වෙනස් වෙච්ච අය බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ ළමයි තමයි මේකට ගොදුරුවෙලා ඉන්නේ. ඉතින් ඒක මානසික රෝගවලට සෘජුව සම්බන්ධ යි," ඔහු පවසයි.
ගංජා භාවිතාව නිසා, භ්‍රාන්ති තත්ත්වයන් ඇතිකරන භින්නෝන්මාදය, විෂාදය, කාංසාව, සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට මතුවෙන ඇතැම් මානසික රෝග වැළඳීමේ සම්භාවිතාව ඉහළ දමනබව පෙන්වන අධ්‍යයනයන් බොහෝ ය.
"මේ රෝග එක්ක අධික බයක් ඇතිවෙන්න පුළුවන්. හිතාගන්න බැරි තරම් බයක්. ඒ එක්කම සැකය ඇතිවෙනවා. සිතුවිලි පාලනයකින් තොරව එන එක, දුක, එපාවීම් කලකිරීම් වගේ දේවල්. ඒ එක්කම අපේ හැඟීම් සහ භාවයන්, මූඩ් එක, වෙනස් වෙන්න පුළුවන් එකපාර. සමහර අයට පාලනයක් නැතුව තරහා යනවා, තමන් ගැන මහන්තත්ත්ව හැඟීමක් ඇතිවෙනවා - මං ලොක්කෙක්, පොරක් කියලා හිතෙනවා. ඒ වගේ හැඟීම් එන්න පටන්ගන්නවා."
"ගංජා භාවිතා කරන්නන්ට ඇතිවන තාවකාලික රෝග ලක්ෂණ පහව යනවා. හැබැයි සමහර අයගේ රෝග ලක්ෂණ දිගටම පවතිනවා," වෛද්‍යවරයා පැවසුවේ ය.
දීර්ඝකාලීනව අධික ප්‍රමාණවලින් ගංජා භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතාව ඇතිවිය හැකිබව ද ඔහු ප්‍රකාශ කරයි. මෙවැනි තත්ත්වයක දී ලිංගික අප්‍රාණිකත්වය, ලිංගික ආශාව අඩුවීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි ය.
වයස අවු. 25ට පෙර ගංජා භාවිතා කළහොත් මොළයේ වෙනස්කම් ද සිදුවිය හැකි ය.
"වර්ධනය වන මොළයක් සහිත නව යොවුන් වියේ තරුණයන්ට මේක බලපානවා වැඩියි. එතකොට ඒ අයගේ බුද්ධි මට්ටම අඩුවීම, අධ්‍යාපනය කඩාකප්පල් වීම වගේ දේවල් වෙනවා. එයාලගේ මොළය තවම වර්ධනය වෙමින් පවතින නිසා, මේකේ දී පැහැදිලි බලපෑමක් දකින්න ලැබෙනවා."
අපේ මුතුන්මිත්තන් ගංජා ගැහුවා ද? ගංජාවලින් 'නිර්මාණශීලීත්වය' වර්ධනය වෙනවා ද?
විනෝදය සඳහා ගංජා භාවිතාව නීතිගත කිරීමට පක්ෂව ඉදිරිපත් කෙරෙන තර්කයන් දෙකක් නම්, ගංජා 'නිර්මාණශීලීත්වය' වැඩි කරවනබව සහ අපේ මුතුන්මිත්තන් අතීතයේ පටන්ම ගංජා භාවිතා කළබව යි.
මේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව වෛද්‍ය ද සිල්වාගෙන් විමසූකල, "ලංකාවේ ඉන්නවා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලේ දත්තවලට අනුව ලක්ෂ තුනක් විතර කට්ටිය ඉඳල හිටලා හෝ දිගටම ගංජා භාවිතා කරනවා. ලක්ෂ තුනක් ක්‍රියේටිව් නම් මේ රටට මෙහෙම කෙළවෙනවාදැ" යි ඔහු අපගෙන් ප්‍රශ්න කළේ ය.
"ගංජා භාවිතය මේ ලංකාවේ අද ඊයේ තිබිච්ච එකක් නෙවෙයි. ගංජා අපේ රටේ පැළවෙන ගහක්. එතකොට මේ භාවිතය තිබිලා තියෙනවා, අපි දන්නා කාලේ ඉඳන්, අපේ සීයලාගේ කාලේ ඉඳන් තිබිලා තියෙනවා. දැන් මේ දැනුම තියෙනවා නේ? අපේ සීයලාට තිබ්බ, අපේ තාත්තලාට තිබ්බ දැනුමනේ මේ වසන් කරන්නේ? අපේ සීයලාගේ වයසේ එක්කෙනෙක්ගෙන් - අවුරුදු අසූවේ අනූවේ එක්කෙනෙක්ගෙන් - හෝ අපේ තාත්තලාගේ වයසේ, හැට පහ හැත්තෑව වයසේ එක්කෙනෙක්ගෙන් අහලා බැලුවොත්, ගම්වල ගංජා ගහපු මිනිස්සුන්ගේ ජීවිත මොන වගේ ද, ඒගොල්ලෝ මොනවා ද කළේ, ඒගොල්ලන්ට තිබ්බ තැන මොකද්ද කියලා දැනගන්න පුළුවන්... එහෙම ඒගොල්ලෝ බොහොම බරපතල, වීර වික්‍රමාන්විත, නිර්මාණශීලී දේවල් කළා ද කියන එකට පැහැදිලි විස්තර හොයාගන්න පුළුවන්. පට්ට බොරු!" ඔහු කියා සිටියේ ය.
ගංජාවලට ඇබ්බැහි වෙන්න පුළුවන් ද?
විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා පවසන්නේ ගංජාවලට ඇබ්බැහි වීමට හැකිබව යි. මුල දී මානසික ඇබ්බැහියත්, පසුව ශාරීරික ඇබ්බැහියත් පෙන්නුම් කරනබව ඔහු පවසයි.
"ඇබ්බැහි වෙච්ච අයගේ ජිවිතේ කේන්ද්‍රස්ථානය මේ ගංජාබවට පත්වෙලා තියෙනවා. ඒක වටේ තමයි ජීවිතේ කැරකෙන්නේ," ඔහු තව දුරටත් පැහැදිලි කරයි.
"මේ ඇබ්බැහිකම නිසා අපේ සාමාන්‍ය මානසික සෞඛ්‍යයේ බාලවීමක් වෙනවා. ඒක එයාට [ගංජා භාවිතා කරන්නාට] තේරෙන්නේ නැහැ."
"ආයුර්වේදයේ දී කංසා විෂ ද්‍රව්‍යයක් විදියට සලකන්නේ"
ආයුර්වේද කෝණයෙන් ගංජාවල භාවිතාවන් අප වෙත විස්තර කළේ ආයුර්වේද වෛද්‍ය කථිකාචාර්ය, වෛද්‍ය ආචාර්ය ආර්. ඒ. ආර්. පී. සුසන්ත යි. ගංජාවල ඖෂධීය භාවිතාවන් සහ ආහාරමය භාවිතාවන් ඇතිබව ඔහු කියා සිටියේ ය.
"හැබැයි ලංකාවේ ආයුර්වේදයේ හෝ ඉන්දියාවේ ආයුර්වේදයේ ඕක 'අභිඵේන' කියන නමින් කියන්නේ. ඕක ඖෂධයක් විදියට ගන්නකොට, අපේ තියෙනවා විෂ සහිත ද්‍රව්‍යයක් ඖෂධයක් විදියට ගන්න ක්‍රම. ඒ කියන්නේ දැන් අපි හිතමු, කංසා කියන්නෙත් අපේ විදියට ගත්තොත් විෂ ද්‍රව්‍යයක්. මොකද ඕකෙන් ස්නායුවලට ගැටලු ඇතිවෙන නිසා. එතකොට, අපේ තියෙනවා විෂ නැති කරන, විෂ ශෝධනය කරන ක්‍රම... ගංජා ගන්නවා නම් පාවිච්චි කරන්න ඕනේ ඒ වගේ තමයි. ආයුර්වේද ඖෂධවලට පාවිච්චි කරන්නේ එහෙම යි," ආචාර්ය සුසන්ත පැහැදිලි කළේ ය.
මෙසේ "විෂ මැරීම" මඟින් ශාකය සෘජුව භාවිතා කරද්දී ඇතිවන ගැටලු ඇති නොවනබව ඔහු ප්‍රකාශ කරයි.
වෛද්‍යවරයෙකු වශයෙන් තමා සිටින්නේ, ගංජා ඖෂධීය වශයෙන් සහ ආහාරමය වශයෙන් භාවිතා කිරීමට මෙරට තුළ යම් නීතිමය පදනමක් ඇතිකළ යුතු ය යන ස්ථානයේ බව වෛද්‍ය ආචාර්ය සුසන්ත පවසයි. නමුත් වෛද්‍යවරුන් ද යම් සීමාවන්ට යටත්කළ යුතුබව ඔහුගේ අදහස යි.
"මොකද ගංජා අර විදියට සුද්ධ කරන්නේ නැතුව ගත්තහම, නොයෙක් ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒවා පුද්ගලයෙකුගේ ජිවිතයට ලොකු හානියක් කරන බාධා. විශේෂයෙන්ම ස්නායු ආබාධ, මානසික තත්ත්වයේ දුර්වලකම් වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්," ඔහු ඊට හේතු පැහැදිලි කළේ ය.
"ගංජාවල හොඳ භාවිතාව තමයි අපි ගන්න ඕනේ. නරක භාවිතාව ඉතා නරක යි. මොකද හේතුව, මං විශේෂයෙන්ම දකිනවා ස්නායු ආබාධ සහ මානසික ඒකාග්‍රතාවය නැතිවීම කියන ගැටලු. අනිත් එක තමයි, අපි ආයුර්වේද භාෂාවෙන් කිව්වොත් ශරීරය 'වියළවන ගතිය' ඇතිවෙනවා අනවශ්‍ය විදියට භාවිතා කරන්න ගත්තොත්. බටහිර විදියට කිව්වොත්, මෙටබොලිසම් එකට (පරිවෘත්තිය) ලොකු ඩැමේජ් එකක් කරනවා අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ගියාම. එතකොට ඒක හරහා ඇතිවෙන ගැටලු නිසා නොයෙක් මෙටබොලික් සින්ඩ්‍රෝම් ඇතිවෙන්න තියෙන චාන්ස් එක වැඩියි."
"KG" නරකයි, "ලෝකල්" හොඳ යි?
ගංජා නිතර භාවිතා කරන්නන් අතර පැතිර ඇති මතයක් වන්නේ, ඉන්දියාවේ සිට ගෙන එන KG හෙවත් 'කේරළ ගංජාවලට' විවිධ රසායනික ද්‍රව්‍ය එක්කරන නිසා ඒවා සෞඛ්‍යයට අහිතකර නමුත්, "ලෝකල්" යනුවෙන පොදුවේ හැඳින්වෙන ශ්‍රී ලංකාවේ වැවෙන ගංජා 'පිරිසිදු' බැවින්, ඒවා භාවිතයෙන් එවැනි හානියක් සිදු නොවන බවයි.
මෙය දුර්මතයක් බව ආචාර්ය සුසන්තගේ අදහස යි.
"කේරළ ගංජා කියන එක තනිකරම ඔය ජරාවල් ගහලානේ එන්නේ. ඒ නිසා ඒක ගැන කතා දෙකක් නෑ. 'පිරිසිදු ගංජා' කියන එකෙන් අදහස් කරන්නේ ශෝධනය කරපු ගංජා නම්, ඒ කියන්නේ විෂ මරපු ගංජා නම් කිසි ප්‍රශ්නයක් නෑ. ඒත්, අනවශ්‍ය භාවිතය නෙවෙයි වෛද්‍ය උපදෙස් මත භාවිතය. 'පිරිසිදු ගංජා' කියන එකෙන් අදහස් කරන්නේ මේ ලංකාවේ වැවෙන, අමුවෙන් ගන්න ලේසියෙන් ගන්න පුළුවන් ගංජා එක ගැන නම්, මං කියන්නේ ඒක වැරදියි කියලා," ඔහු අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක මෙය දුර්මතයක් වන්නේ කෙසේ ද යන්න තවදුරටත් පැහැදිලිකර දුන්නේ ය.
"දැන් කැනබිස් ශාකයේ විශේෂ ගණනාවක් තියෙනවා. ඒ මොන විශේෂයේ වුණත් ඔතන අන්තිමට වැදගත් වෙන්නේ [ඒකේ අඩංගු] රසායනික ද්‍රව්‍ය නේ? ඒ කියන්නේ සයිකෝඇක්ටිව් කම්පෝනන්ට් (මනඃක්‍රියාකාරීත්ව රසායනික ද්‍රව්‍යය) එක කියන එකනේ වැදගත් වෙන්නේ. ඒක [හැම ශාකයේම] එකම යි වෙන්නේ. මොකද රසායනික ද්‍රව්‍ය ගණනාවක් තියෙනවා. ඒ අතර ප්‍රධානවම බලපාන සයිකෝඇක්ටිව් රසායනික ද්‍රව්‍ය මත තමයි [බලපෑම] තීරණය වෙන්නේ. ඒ ද්‍රව්‍යයේ වෙනසක් වෙන්නේ නෑ ශාකයේ විශේෂය වෙනස් වුණා කියන එකෙන්," ඔහු විස්තර කරමින් පැවසීය.
ගංජා ඉරීම පෙනහැලිවල ආබාධ ඇතිකරන අතරම, රිය අනතුරු සිදුවීමට ද හේතුවක් බව මහාචාර්ය කරුණාතිලක සඳහන් කළේ ය.
"ගංජා බෙහෙතක් බෙහෙතක් බෙහෙතක් කියන අය හිතාමතා බොරු කරන්නේ"
"ගංජා නීතිගත කළ යුතු ය" යන්නම වැරදි ප්‍රකාශයක් බව විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා ප්‍රකාශ කළේ ය. මෙයට හේතු ලෙස ඔහු දක්වන්නේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් ආයුර්වේද සහ දේශීය වෛද්‍ය කටයුතු සඳහා ගංජා භාවිතා කිරීමට නීතිමය ඉඩකඩ තිබීම ය.
නීතියෙන් තහනම්ව ඇත්තේ විනෝදය සඳහා ගංජා ඉරීම, ප්‍රවාහනය කිරීම ආදිය බව යි ඔහු පවසන්නේ.
"'ගංජා නීතිගත කිරීම' කියන එකම සාවද්‍ය ප්‍රකාශයක්. ඒක ලංකාවට අදාල වෙන්නේ නැහැ. අපේ ඒක නීතිගත යි දැනටත්. ඒ නීතිගත කිරීම කරලා තියෙන්නේ බොහොම වගකීමෙන්, සහ අවශ්‍යතාවයට පමණක් පාවිච්චි කරන්න ඉඩ දීලා," ඔහු කියා සිටියේ ය.
බටහිර වෛද්‍ය විද්‍යාවේ දී ඖෂධ සඳහා භාවිතා වන්නේ ගංජාවල ඇති එක් සංඝටකයක් පමණි.
"ගංජාවලින් හදන බෙහෙත් මහා ලොකු ගාණක් නෑ, එකක් දෙකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඔය ළමයින්ගේ අපස්මාරයට භාවිතා කරන බෙහෙත ගංජාවල ඇබ්බැහිකාරක ටෙට්‍රාහයිඩ්‍රෝකැනබිනෝල්, THC, කියන එක අයින් කරලා, CBD කියන - කැනබිඩියෝල් - සංඝටකය විතරක් භාවිතා කරලා, ඒක තෙලකට නිස්සාරණය කරලා පාවිච්චි කරන එකක්. එතකොට, ගංජා බෙහෙතක් බෙහෙතක් බෙහෙතක් කියන අය බොරු කරන්නේ කියන්නේ, හිතාමතා දැනුවත්ව. මොකද ගංජා බෙහෙතක් වෙන්නේ, ගංජාවලින් නිස්සාරණය කරලා ගන්න ඖෂධවලට විතරයි," වෛද්‍යවරයා පැවසුවේ ය.
ගංජා ඖෂධ සඳහා නිපදවා ලාභ ලැබීමට නොහැකියැ යි කියා සිටින ඔහු, සාවද්‍ය කරුණු පතුරවමින් මේ පරිසරය සකස් කරමින් සිටින්නේ ඖෂධීය නොවන ගංජා වෙළඳපොල සඳහාබව ප්‍රකාශ කරයි.
"එතකොට අමු අමුවේ ගංජා භාවිතා කරන එක බෙහෙතක් කියලා ප්‍රචාරය කරන්නේ බොහොම පැහැදිලි හේතුවක් ඇතුව. මොකද ගංජා ව්‍යාපාරයක් කරන්න ඕනේ හින්දා... ලෝකෙම බැලුවොත් එහෙම, ඖෂධීය ගංජාවලට තියෙන මාකට් එක අතිශයින්ම කුඩා යි. ගංජා භාවිතා කරලා හදන බෙහෙත් තියෙන මාකට් එක ගත්තොත් ඒක මහා ලොකු, හදලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. දැනටමත් මේ ලෝකේ හදන ගංජාවලින් ඒක සංතෘප්ත වෙලා තියෙන්නේ. ඒකට ආයේ ප්‍රවිෂ්ට වෙන්න කාටවත් එහෙම ඉඩක් ඉතුරුවෙලා නැහැ."
ගෝලීය ගංජා වෙළෙඳපොළ සහ ප්‍රවණතා
ගංජා, ලෝකයේ බහුලවම භාවිතා වන නීති විරෝධී මත්ද්‍රව්‍යය වේ. 2013 දී, උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ පළමු රටබවට පත්විය.
යම් යම් නියාමනයන් යටතේ ගංජා විනෝදාත්මක හෝ ඖෂධීය භාවිතාවන් සඳහා නීතිගත කළ හෝ සාපරාධීබව තොරකළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤය, සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කීපයකි. නමුත් එක්සත් ජනපදයේ ෆෙඩරල් නීති අනුව ගංජා ළඟ තබා ගැනීම නීති විරෝධී ලෙස පවතියි.
2028 වන විට ලෝකයේ නීත්‍යානුකූල ගංජා වෙළඳපොළේ විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5 දක්වා ළඟා වනු ඇතැ යි අපේක්ෂා කරනබව ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් පුරෝකතනයකර ඇත.
ග්‍රෑන්ඩ් වීව් පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ රාජ්‍යයන් කිහිපයක මෑත කාලීනව (නියාමනයක් යටතේ) ගංජා භාවිතාව නීතිගත කිරීම හේතුවෙන්, වෛද්‍යමය අරමුණු සඳහා ගංජා භාවිතය ප්‍රසිද්ධ වෙමින් පවතියි.
වේදනාව පාලනය කිරීමට, සහ ඇල්සයිමර් රෝගය, ආතරයිටිස්, පිළිකා, කාංසාව, අපස්මාරය සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට ගංජා සාර්ථකව භාවිතා කළ හැකියැ යි විශ්වාස කෙරෙන අතර, ඇතැම් රටවල වෛද්‍ය නිර්දේශය යටතේ මේවා භාවිතා වේ. එහි නිෂ්පාදන ඉල්ලුම වැඩි කිරීමට හේතු වී ඇත්තේ මෙය යි.