ශ්‍රී ලංකාව: කිරිපිටි පෝලිම් අවසන් වන්නේ කවදා ද?

Milk shortage in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කිරිපිටි පෝලිම් කවදා අවසන් වෙයි ද? මෙය අද බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ලබන බදාදා වන විට කිරිපිටි සඳහා දැනට පවතින පෝලිම් අවසන් වී යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.

කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග වරායෙන් නිශ්කාශනය (clearing) කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 1.1ක මුදලක් බැංකු මඟින් පසුගියදා ආනයනකරුවන් වෙත ලබා දී ඇති අතර ඒ සමගම කඩිනමින් කිරිපිටි හිඟය මඟහැරී යනු ඇතැයි බලධාරීහු පවසති.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මාධ්‍යයට පැවසුවේ ලබන අඟහරුවාද (12) වනවිට එම කිරිපිටි තොග වරායෙන් නිශ්කාශනය කර ගැනිමට හැකිවනු ඇති බවය.

ඒ අනුව බදාදා (13) වන විට පෝලිම් අවසන් වනු ඇති අතර, ලබන සතිය අගවන විට වෙළෙඳපොල තුළ ප්‍රමාණවත් තරම් කිරිපිටි තොග පවතිනු ඇතැයි හෙතෙම පැවසීය.

කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටින අයුරු පසුගිය දිනවල සුලභ දසුනක් විය. ඇතැම් අවස්ථාවල එම ස්ථානවල නොසන්සුන් තත්ත්වයන් හටගත් අයුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල දැකගත හැකි විය.

කිරිපිටි පාලන මිල ඉවතට

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක පාලන මිල ඉවත් කිරීමට රජය ඊයේ (ඔක්තෝබර් 07) පියවර ගත්තේය.

Milk shortage in Sri Lanka

වෙළෙඳපොල තුළ භාණ්ඩ හිඟය පිටු දැක මහජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම පිණිස පාලන මිල ඉවත් කළ බව රජය පවසන්නේය.

කිසිදු හේතුවක් නිසා වුවද අසාධාරණ ලෙස මිල ගණන් ඉහළ දැමීමට සහ භාණ්ඩ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට කැබිනට් රැස්වීමක දී උපදෙස් දී තිබේ.

ඒ අනුව, අමාත්‍යවරයා සියලු සමාගම් කැඳවා රජයේ තීරණය කිරිපිටි ආනයනකරුවන්ට දැනුම් දී තිබිණි.

ලබා දී ඇති නිදහසින් යම් සමාගමක් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙස මිල වැඩි කිරීමක් කළහොත් පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් නැවතත් මිල පාලනය කිරීමට සිදුවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Milk shortage in Sri Lanka

මේ තොරතුරු ද කියවන්න:

දේශීය කිරි නිශ්පාදනය ප්‍රමාණවත්ද?

පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධනය, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසන්නේ දේශීය කිරිපිටි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නිශ්පාදනයක් මෙරට තුළ තවමත් සිදු නොවන බවය.

ජාතික කිරිපිටි අවශ්‍යතාවෙන් මෙරට නිශ්පාදනය කෙරෙන ප්‍රතිශතය 40%කි. එ අනුව 60% ක් ආනයනික කිරිපිටි මත යැපීමට සිදුව ඇත.

දේශීය කිරි නිශ්පාදන සමාගම් ලාභ ලබයි

වෙළෙඳපොළේ කිරිපිටි හිඟය මැද රජයට අයත් මිල්කෝ සහ NLDB හෙවත් ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබමින් ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

රුපියල් මිලියන 800ක් පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය සිය ණය ගෙවා අවසන් කර ඇති බව ඔවුහු පැවසූහ.

මිල්කෝ ආයතනය මේ වසරේ රුපියල් මිලියන 400ක් ලාභ ලබා ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පැවසීය.

NLDB ආයතනය ද සිය ණය ගෙවා දමමින් සාර්ථකව පවත්වාගෙන යමින් ඇතැයි ඔහු තවදුරත් පැවසීය.

කිරි ගොවියාගේ ආදායම

කිරි ලීටරයක් දැනට රුපියල් 80ක අවම මිලකට ගොවීන්ගෙන් ලබා ගන්නා අතර ඇතැම් නිශ්පාදකයෝ කිරි ලීටරයකට රුපියල් 130ක් ගොවින් වෙත ගෙවනු ලබති.

ගොවීන්ගෙන් කිරි මිලදී ගැනිම සඳහා දැනට පාලන මිලක් ක්‍රියාත්මක නොවන අතර විවෘත වෙළෙඳපොළේ ඕනෑම මිල ගණනකට දියර කිරි ගොවීන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.

දේශීය කිරි පිටි නිෂ්පාදකයන් පවසන්නේ කිරිපිටි නිෂ්පාදන මිල ඉහල ගොස් ඇති බවය.

Milk shortage in Sri Lanka

කිරිපිටි වෙනුවට දියර කිරි

දේශීය කිරි නිශ්පාදනය කෙටි කාලීනව දෙගුණ කිරීම සහ කිරිපිටි භාවිතයට වඩා දියර කිරි භාවිතය සඳහා ජනතාව යොමු කිරීම රජයේ ඉලක්කය බව පැවසේ.

දැනට මෙරට සිටින කිරි ලබා ගන්නා දෙනුන් සංඛ්‍යාව මිලියන 1.2කි. මෙරට එක් එළදෙනකගෙන් දිනකට දොවා ගන්නා සාමාන්‍ය කිරි ප්‍රමාණය ලීටර් 3ත් 3.7ත් අතර ගණනකි.

කිරි එළදෙනුන් ආනයනයට පියවර

කිරි නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා පෞද්ගලික වතු සමාගම් හතරක් මගින් කිරි දෙනුන් 4,000ක් ආනයනයට පියවර ගෙන ඇති බවට රජය පවසයි.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක එම ව්‍යාපෘති සඳහා පෞද්ගලික ආයෝජකයින් මුදල් ආයෝජනය කිරීමට නියමිත අතර ඔවුන් කැමති රටවලින් අවශ්‍ය එළදෙනුන් ආනයනය කරනු ඇත.

සමස්ත ව්‍යාපෘති යටතේ එළදෙනුන් 20,000ක් ආනයනය කිරීමට නියමිතය.

ඒ සඳහා පෞද්ගලික අංශය විසින් මුදල් ආයෝජනය කරනු ලබන අතර රජය මගින් ව්‍යාපෘති සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලබන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පැවසීය.