ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්ථාව: "බුදුන් වහන්සේ මෙහෙම දෙයක් අනුමත කරලා නෑ"

"මම කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියල ඔප්පු කරන්න මගේ අතේ කිසිම දෙයක් නෑ."

ඡායාරූප මූලාශ්‍රය, Maharagama uthpalavanna/fb

ඡායාරූප ශීර්ෂ වැකිය, "මම කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියල ඔප්පු කරන්න මගේ අතේ කිසිම දෙයක් නෑ"
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල සේවය

ලිංගිකත්වය මත පදනම්ව, ආගමික සංස්ථා තුළ ක්‍රියාත්මක වන නොසලකා හැරීම්වලට එරෙහිව ලොව පුරා දහස් ගණන් කාන්තාවෝ සටන් වැදී සිටිති.

ඒ බොහෝ දෙනා පවසන්නේ, ආගමික සංස්ථාවන් තුළ කාන්තාව පීඩාවට පත්වන අතර, බොහෝවිට කාන්තාවට සලකනු ලබන්නේ "දෙවෙනි පෙළ" පුරවැසියන් ලෙසින් බවය.

ආගමික සංස්ථාවන් තුළ රැඳී සිටිමින්ම, අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව සටන් වැදීමට එවැනි බොහෝ කාන්තාවෝ අදිටන් කරගෙන සිටිති.

මේ එවැනි එක් කාන්තාවකගේ කතාවය.

1px transparent line

'මට මේ ලෝකේ අනන්‍යතාවක් නෑ'

"මේ ලෝකෙ මම කියල කෙනෙක් ඉන්නවා කියල කිසිම නිල ලියවිල්ලක නෑ. මට නිල අනන්‍යතා සහතිකයක් නැහැ," මහරගම උත්පලවන්නා භික්ෂුණීන් වහන්සේ මා සමඟ පැවසූහ.

වේදනාව මෙන්ම උපේක්ෂා සහගත බව ද ඒ හඬේ ගැබ්ව ඇති බවක් මට හැඟේ.

Maharagama Uthpalavanna bhikkuni delivering a Dhamma talk through Buddha Dhamma Television in India

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඉන්ද්‍රාණි විනීතා ද සිල්වා ලෙසින් උපත ලැබූ ඇය සසුන්ගතවීමට ප්‍රථම එක්දරු මවකි.

ඇය කලක් ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල සිසු දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ගුරු මාතාවක වූවාය.

මහරගම උත්පලවන්නා නමින් සසුන්ගතවීමෙන් පසුව ද, ඇයගේ ජාතික හැඳුනුම්පතේ, ගමන් බලපත්‍රයේ සහ සියලු නිල ලිපිලේඛනවල තවමත් ඇගේ නම සඳහන් වන්නේ "ඉන්ද්‍රාණි විනීතා ද සිල්වා" යනුවෙනි.

එහෙත් එහි ඡායාරූපය, හිස මුඩු කොට කසාවත් හැඳි කාන්තාවකගේය.

"මම කියල කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියල ඔප්පු කරන්න මගේ අතේ කිසිම දෙයක් නෑ."

1px transparent line

කියවන්න:

1px transparent line

"නීතිය බවට පත්වූ සම්ප්‍රදාය"

එය, උත්පලවන්නා තෙරණිය පමණක් මුහුණදෙන අත්දැකීමක් නොවේ.

ඉනාමළුවේ සුමංගල මහනාහිමියන්ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි ස්ථාපනය කිරීමෙන් අනතුරුව 2004 දක්වා ශ්‍රී ලංකා ආණ්ඩුව භික්ෂුණීන් වහන්සේට නිල හැඳුනුම්පත් නිකුත්කළ නමුත්, 2004 සිට එය නවතා දැමිණ.

ඒ මහානායක හිමිවරුන්ගේ උපදෙස් පරිදිය.

එවක් පටන් දහස් ගණන් භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පතක් අහිමිය.

මේ වනවිට ලොව කිසිම රටක ථෙරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැති බැවින්, බුදු හිමියන් යළි පහළවන තුරු සාමනේර භික්ෂුණීන්ට උපසම්පදාව ලබාදිය නොහැකි බව පවසමින්, මහානායක හිමිවරු භික්ෂුණී ශාසනය පිළිගැනීම ප්‍රතික්ෂේප කරති.

"අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දැන උගත් භික්ෂූන් වහන්සේ විසින් ධර්ම විනයානුකූලව භික්ෂුණී ශාසනය පිහිටුවීමට ථෙරවාදී සම්ප්‍රදාය තුළ අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීල තියෙනව," යනුවෙන් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ පැවසූහ.

එහෙත් උත්පලවන්නා තෙරණිය ඇතුළු උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේ අවධාරණය කරන්නේ, නිසි පරිදි බෞද්ධ සම්ප්‍රදාය සහ වත්පිළිවෙත් පිළිපදිමින් තමන් උපසම්පදාව ලබාගත් බවය.

The facts about Sri Lanka Bhikkunis

රටේ කිසියම් පුරවැසියකුට හැඳුනුම්පතක් ලබාදීම පිණිස මහානායක හිමිවරුන්ගේ උපදෙස් පැතීම නීත්‍යානුකූල අවශ්‍යතාවක් නොවේ.

එවැනි උපදෙස් ප්‍රකාර භික්ෂුණීන්ට හැඳුනුම්පතක් ලබා නොදීම නීති විරෝධී ක්‍රියාවක් බව ජාතික මානව හිමිකම් කොමිසම තීන්දුකොට තිබේ.

ඒ පිළිබඳ මීට ඉහතදී මා සමඟ අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම කියා සිටියේ, මහනායක හිමිවරුන්ගේ උපදෙස් ප්‍රකාර බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් පියවර ගතයුතු බවට ශ්‍රී ලංකාවේ නීතියක් නොමැති වුවද, එවැනි සම්ප්‍රදායක් පවතින බවය.

"දැන් සම්ප්‍රදාය නීතියක් බවට පත්වෙලා," ඔහු පැවසීය.

එහෙත් ඒ "නීතිය බවට පත්වූ සම්ප්‍රදාය" හේතුවෙන් දහස් සංඛ්‍යාත භික්ෂුණීන් වහන්සේ අතරමංවී සිටිති.

"දැන් ලංකාවේ මම කියල කෙනෙක් නෑ," මහරගම උත්පලවන්නා භික්ෂුණීන් වහන්සේ පවසන්නීය.

"මට කිසිම දෙයක් නෑ. මම මහරගම උත්පලවන්නා කියල ඔප්පු කරන්න මගේ අතේ කිසිම දෙයක් නෑ. පාස්පෝට් එකේ නම තියෙන්නේ විනීතා ද සිල්වා කියල, ඒත් ෆොටෝ එකේ ඉන්නේ තට්ටේ ගාල සිවුරක් ඇඳපු කාන්තාවක්. මේ රටේ නිල ලේඛනවල විදියට මම සිවුරක් ඇඳපු ගිහි කාන්තාවක්."

'කොටි සාමාජිකාවක්ද කියල ඇහුවා'

බලධාරීන්ගේ මේ පිළිවෙත නිසා තමන් ඇතුළු භික්ෂුණීන් වහන්සේට භයානක අත්දැකීම්වලට මුහුණදීමට සිදුවන බවද භික්ෂුණිය පෙන්වා දෙන්නීය.

වසර කිහිපයකට ඉහතදී, ඉන්දියාවේ පැවති බෞද්ධ සමුළුවකට සහභාගි වී ආපසු පැමිණීම පිණිස දිල්ලි අගනුවරින් ගුවන්ගතවීමට පැමිණි අවස්ථාවේ ඉන්දීය බලධාරීහු ඇය අත්අඩංගුවට ගැනීමට සැරසුණහ.

"එයාල ඇහුව මම ඔත්තුකාරියක් ද කියල. ඊට පස්සේ ඇහුව මම ආමිකාරියෙක් ද කියල," ඇය සිහිපත් කළාය.

ඒ, ආරක්ෂක හමුදා සහ කොටි සංවිධානය අතර උතුරේ සටන් ඇවිලෙමින් පැවති සමයයි.

"ඊළඟට ආපු ප්‍රශ්නේ තමයි මම කොටි සාමාජිකාවක් ද කියල. ඒ සේරම මගේ පාස්පෝට් එකේ තිබුණ නම නිසා. ඒ නම භික්ෂුණියකට ගැලපෙන්නේ නැති නිසා."

Sri Lanka Buddhist nuns
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් අහිමිය

එපමණක් නොව, යුද ගැටුම් සමයේ ශ්‍රී ලංකාව තුළ ද භික්ෂුණීන් වහන්සේට දරුණු පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ බවද මහරගම උත්පලවන්නා භික්ෂුණිය සිහිපත් කරන්නීය.

ඇය පවසන්නේ, විශේෂයෙන්ම අපරාධයකින් අනතුරුව පලායාම හෝ සැඟවී සිටීම පිණිස කොටි කැරලිකරුවන් සිවුර පවා යොදාගැනීමේ හැකියාවක් පැවති බැවින් නිල අනන්‍යතා සහතිකයක් අහිමි භික්ෂුණීන් නිරන්තර සෝදිසිවලට ලක් වූ බවය.

හැඳුනුම්පතක් අහිමිවීම හේතුවෙන් භික්ෂුණීහු තවත් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙති.

"පැන්ෂන් එක ගන්න බැංකුවට ගියහම බැංකුවේ මහත්තුරු මට කිවුව ඉක්මණට බැංකු ගිණුමේ මගේ නම මාරුකරන්න කියල. බැංකු ගිණුමේ තාම නම තියෙන්නේ විනීතා කියලා. එයාල කියනව දැන් මගේ පැන්ෂන් එක දෙන එකත් නීති විරෝධීලු."

මහානායක හිමිවරුන්ගේ ස්ථාවරයට එරෙහිව අනෙක් භික්ෂුණීන් ද සමඟ එක්ව හඬ නගන්නට ඇය තීරණය කළේ මේ තත්වය යටතේය.

එහෙත් භික්ෂුණීන්ට සාධාරණය ඉටුකිරීම පිණිස මහානායක හිමිවරුන් හෝ ආණ්ඩුව උත්සුක වන හැඩක් තවමත් දකින්නට නැත.

"ලංකාවේ භික්ෂුණීන් වහන්සේලා කියන්නේ රටක් නැති මිනිස්සු වගේ," උත්පලවන්නා භික්ෂුණිය පවසති.

"මේක බෞද්ධ සංස්ථාවේ පුරුෂාධිපත්‍යය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි," ඇය පවසන්නේ, අධිෂ්ඨානසහගත ස්වරයකිනි.

"බුදුන් වහන්සේ කවදාවත් මෙහෙම දෙයක් අනුමත කරලා නෑ."

තවත් කියවන්න: