කොරෝනා වෛරසය: පළමු එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කවදාද ?

''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න.'' - මහාචාර්ය නීලිකා මලවිගේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න.'' - මහාචාර්ය නීලිකා මලවිගේ
    • Author, ෂර්ලි උපුල් කුමාර
    • Role, බීබීසී සිංහල

Covid -19 රෝගයෙන් ජනතාවගේ දිවි බේරා ගත හැකි එන්නතක පළමු තොගය ලබන වසරේ අග භාගය පමණ වන විට ශ්‍රී ලංකාවට ලැබීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

ලොව පුරා සිදු කෙරෙන මූලික අදියරේ පරීක්ෂණ වලදී කොරෝනා වෛරසයට එරෙහිව යොදාගත හැකි එන්නත් කිහිපයක් සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

''අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනය බිලියන 7කට වඩා ඉන්නවා. එතකොට මොන එන්නත සාර්ථක වුණත් කිසිම ඖෂධ සමාගමකට හැකියාවක් නෑ එන්නත් බිලියන 7ක් හදන්න. ඒ නිසා එන්නත් යම් කිසි ප්‍රතිශතයක් තමයි ලංකාවට ලැබෙන්නේ. '' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියාය.

දිනෙන් දින වාර්තා වෙන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව වැඩිවීමත් සමග සාර්ථක එන්නතක් කවදා ශ්‍රී ලංකාවට ලැබේ ද යන්න පිළිබඳ ශ්‍රී ලාංකිකයෝ ද දෑස් දල්වා බලා සිටිති.

Covid -19 සඳහා නිපදවෙන එන්නත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත රාසයියා පෙන්ඩ්සේ නොවැම්බර් 09 වැනිදා සඳහන් කර තිබුණි. ඒ අනුව ඊට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබා දෙන පිරිස් තීරණය කිරීම සහ ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එන්නත් කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නව එන්නත් ගබඩා කිරීම සහ ප්‍රවාහනයට අභියෝගයක්

''පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නත් වලින් තුනක් ඉදිරියෙන් තියෙනවා. ෆයිසර් සමාගමේ එන්නත, ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් නිපදවන එන්නත සහ ඇමරිකාවේ මොඩර්නා කියන එන්නත තමයි ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. අපිට ගොඩක් දත්ත නෑ මේවා කොච්චර සාර්ථක ද කියලා අනිවාර්යයෙන්ම කියන්න. දැනට තියෙන දත්ත වලින් සාර්ථකව ප්‍රතිපල තියෙනවා කියලා විතරයි කියන්න පුළුවන්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය.

ඇය පෙන්වා දෙන ආකාරයට ඉන් එන්නත් දෙකක් සෙල්සියස් අංශක සෘණ 70ක අගයක් පවත්වා ගනිමින් ගබඩා කළ යුතුය. එවැනි ශීතාගාර පහසුකම් නොමැති වීම ලංකාව වැනි රටවල් මුහුණ දෙන තවත් ගැටලුවකි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත සාමාන්‍ය ශීතකරණ තුළ ගබඩා කළ හැකි බව ද ඇය ප්‍රකාශ කළා ය.

කතා කරන විට හඬේ ප්‍රබලතාව ද වැදගත්

නිතර අත් සේදීම, මුහුණු ආවරණ පැළදීම සහ මීටරයක් දුර පවත්වා ගැනීම කොරෝනා වෛරසය පැතිරීම වැලක්වීම සඳහා අනුගමනය කරන ප්‍රධාන සෞඛ්‍ය පුරුදු වේ. එහෙත් මීටරයක දුර පවත්වාගෙන යෑම සෑම පරිශ්‍රයකටම අදාළ නොවන අතර තමන් අන් අය සමග ගත කරන කාලය මෙන්ම කතා කරන හඬේ ප්‍රබලතාව කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබේ.

විශේෂයෙන් ආපනශාලා, හෝටල් සහ ජනයා වැඩිපුර ගැවෙසෙන සංවෘත ස්ථානවලදී (indoor) සැළකිලිමත් විය යුතුව ඇත.

''අපි සංවෘත පරිසරයක් ගැන කතා කරනවා නම් මුහුණු ආවරණ දාගෙන හිටියත්, මීටරයක් ඈතින් හිටියත් ඒ වගේ අවස්ථාවක A/C එකෙන් වාතය සංචරණය වන විට කොවිඩ් අසාදිත පුද්ගලයෙක් ගෙන් ඒ වෛරසය පිටවෙලා කාමරේ ඇතුළෙම සංචරණය වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවන් තැනක ගත කරන කාලය අවදානම්. ඒ වගේම කතා කරන ස්වරයත් ඉතාම වැදගත්.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දුන්නාය.

ශබ්ද නගා කතා කිරීම වැනි ක්‍රියා වලින් රෝග කාරක වෛරස වැඩි දුරකට පැතිර යෑමේ වැඩි අවදානමක් තිබේ.

හොදින් වාතාශ්‍රය සහිත, එළිමන් නිදහස් ස්ථානවල එම අවදානම සංවෘත ස්ථානයකට වඩා අඩු වේ.

''ආපන ආපනශාලාවල එකට කන්න එපා කියන්නේ ඒ වගේ වෙලාවක කොහොමත් මුහුණු ආවරණ ගලවනවා. අපි ආහාර ගන්නත් පැය කාලක් වගේ කාලයක් ගත කරනවා. ඒවා ඉතාම අවදානම් තත්ත්වයක් . මේ දවස් වල එක බත් එක බෙදාගෙන කෑම ඉතාම නරකයි . මං හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යනකන් එක බත් එක කන එක නොකළ යුතුයි. යමෙකුට තමන්ගෙ යාළුවට ආහාර වේලක් දෙන්න අවශ්‍ය නම් ඒකට වෙනම කෑම එකක් ලබාදීම තමයි සුදුසු වෙන්නේ.'' යනුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.