ලෝකාන්තය පා මුල සැඟවුණු කතාවක් : ගමේ පාසලේ 'හොස්ටල් ජීවිතේ'

- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
''ළඟම පාසලට දවස ගානේ කිලෝමීටර් විසි අටක් පයින් යන දරුවො ටිකක් ඉන්නවා. මේ ඉස්කෝලේ තියෙන්නෙ ලෝකාන්තය පාමුල''
මිතුරෙකුගෙන් මේ තොරතුර පළමු වරට දැනගත් මොහොතේ මට එය එක්වරම විශ්වාස කිරීමට අපහසු විය.
එබැවින් මම රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් විවේගානන්ද විද්‍යාලයේ විදුහල්පති, අමිත් සංජු දුරකතනයෙන් සම්බන්ධ කර ගෙන විස්තර විමසුවෙමි.
''අපේ ඉස්කෝලෙට ළඟම ගමේ ළමයි දිනපතා කිලෝමීටර් 4ක් පයින් යනඑනවා. දුරම ගමේ ළමයින්ට පයින් ඉස්කෝලෙට ඇවිත් යන්න කිලෝමීටර් 28ක් තියෙනවා. දුරම ළමයින්ට නවතින්න ඉස්කෝලේ හොස්ටල් එකකුත් තියෙනවා. ඒත් කිලෝමීටර් 16ක්, 28ක් දවස ගානේ පයින් යනඑන ළමයි ඉන්නවා.'' යනුවෙන් විදුහල්පති කියා සිටියේය.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන්ගේ නොමද සහය මත මේ දරුවන්ගේ ලෝකය යහපත් කරන්න විශාල වැඩ කොටසක් කර ගෙන යන බව ද විදුහල්පතිතුමා සිහිපත් කළේය.

ලෝකාන්තයේ සිට පහළ බලන අයෙකුට සුන්දර ලෝකයක් පෙනේ.
එහෙත් මීදුම් වලාවට සැඟවුණු ඒ සොඳුරු ලොව තුළ අඳුරෙන් වැසුණු ලෝකයක් ද ඇති බව පසක් වූයෙන් ගමන ඉතා දුෂ්කර වුවද, කටුක දුක සතුටු සිනහවට නගනා එම දරුවන් සොයා මම බලන්ගොඩ බලා පිටත් වුණෙමි.
රත්නපුර නගරය පසු කරමින් බලන්ගොඩට හරහා සබරගමුව විශ්ව විද්‍යාලය දෙසට ගිය නොන්පරේල් වතුයාය - Nonpareil Estate ('නන්පේරියල් වත්ත' නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති) වෙත යන මාර්ගය සඳහන් දැන්වීම් පුවරුවක් නන්පරේල් මංසන්දියේ දක්නට ලැබේ.
නොන්පරේල් මංසන්දියේ සිට මේ පාසලට ගිරි දුර්ගයක් හරහා කිලෝමීටර් හතක් යා යුතුය.
තාර ගැලවී ගිය, අනාරක්ෂිත, ත්‍රාසය සහ භීතිය මුසු හැඟීම් දනවන එම පටු මාර්ගය දිගේ පාසල දක්වා යන විට දුටුවන්ගේ සිත් වසඟ කරන ඉතා මනරම් දසුන් මගේ නෙත ගැටුණි.
නිතර කඳු යාය සිප හමා එන සීතල මදනළ ගමන් වෙහෙස නිවා දැමුවේය.
''පාර අබලන් වුණත් ඉස්කෝලේ ළඟ ඉදලා නන්පේරියල් හංදියට එන්න බස් එකක් දුවනවා. ඒත් ළමයින් ට ඉස්කෝලෙට එන්න තවම ප්‍රවාහන ක්‍රමයක් නෑ.'' යනුවෙන් ගමන අතර මගදී අයෙකු පැවසීය.
මීට හේතුව, පාසල කරා එන දරුවන් සියල්ල පදිංචිව සිටිනුයේ පාසලට ඉහළින් වූ බිම් ප්‍රදේශවල පිහිටි ගම්මානවල බැවිනි.
ලෝකාන්තය පාමුළ තක්සලාව

මාර්ගයට ඉහළින් වූ කඳු ගැටයක් මත පාසල පිහිටා තිබේ.
ඒ දෙසට පියමං කරන විට සැඩ සුළං හමන්නට විය. ගස් නැවි ඇඹරී යයි. බැලුබැලු ඇත කඳු වලල්ලකි. එක් පැත්තකින් බැලූ විට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි නන්පරේල් තේ කර්මාන්ත ශාලාව පාසලට ඉහළින් පෙනේ.
විවේගානන්ද විද්‍යාලයේ එක ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කෙරේ. පාසලේ මුළු ළමුන් සංඛ්‍යාව 92කි. එහෙත් සැප්තැම්බර් 09 වැනිදා පාසලට පැමිණ තිබුණේ ළමුන් 54 දෙනෙකු පමණි.
ඒ පිළිබඳව මම විදුහල්පතිවරයාගෙන් විමසා සිටියෙමි.
''නන්පේරියල් වත්තේ කොටස් 4ක ඉඳලා මේ පාසලට දරුවන් එනවා. ළඟම ගම ෆැක්ටරි ඩිවිෂන් එක. ඒකෙ ළමයින් දවසට කිලෝ මීටර් දෙකක් පහලට ඇවිල්ල තව දෙකක් ඉහළට යන්න ඕනේ. ඒ කියන්නේ දවසට කිලෝ මීටර් හතරක් පයින් යනවා. අනික් ඩිවිෂන් එක තමයි උග්ගල්දූව. එකේ උදේට හයක් පයින් එනවා ආපහු දවල්ට ළමයි කිලෝ මීටර හයක් පයින් යනවා. එතන කිලෝමීටර් 12ක්. ඊළඟට පුදුකාඩුව ඩිවිෂන් එකේ ඉඳලා හැමදාම ළමයි කිලෝමීටර් දහසයක් පයින් යන්න එන්න ඕන. දුරම ඩිවිෂන් එක නැග්රැක්. එහෙ ඉඳලා යන්නඑන්න කිලෝමීටර් 28ක් තියෙනවා.'' යනුවෙන් විදුහල්පතිවරයා කියා සිටියේය.
නැග්රැක් සිට පැමිණෙන දරුවන්ට පාසලේ නේවාසික පහසුකම් සළසා ඇත. ඒ අනුව දරුවන් 22නෙකු තමන්ට ළඟම පාසලේ නේවාසිකාගාර ජීවිතයක් ගත කරයි. මාසයක කාලයක්, තුන් වේලට ආහාර ලබා දීම සඳහා එක් දරුවෙකුගෙන් රුපියල් 1500 බැගින් අය කරනු ලැබේ.
දරුවන් තිදෙනෙකු සිටින පවුලක් ඒ සඳහා මසකට රුපියල් 4500 ක් ගෙවිය යුතුය. එහෙත් එම මුදල් ගෙවා ගත නොහැකි මවුපියන්ගේ දරුවන්ට විකල්ප දෙකක් ඇති බව මට වැටහුණි.
ඉන් එකක් නම් අති දුෂ්කර, කඳුකර මාර්ගය ඔස්සේ දිනපතා කිලෝමීටර් 28ක් පා ගමනේ යෙදීමය. අනෙක් විකල්පය අධ්‍යාපන ගමන නවතා දැමීමය. එම විකල්ප දෙක තෝරාගත් දරුවන් මට හමු විය.
ගමේ පාසලේ 'හොස්ටල් ජීවිතේ'
දුර බැහැර, නගරයේ පාසලක අධ්‍යාපනය ලබන දරුවන් නේවාසිකාගාරවල නැවතී අධ්‍යාපනය ලබන අවස්ථා අපි දැක ඇත්තෙමු. එහෙත් මේ දරුවන්ට සඳුදා සිට සිකුරාදා දක්වා නේවාසිකාගාරයක නැවතී අධ්‍යාපනය ලැබීමට සිදුව තිබෙන්නේ තමන්ට ළඟම, ගමේ පාසලේ ය.
එස්.නිරෝෂා, නොන්පරේල් විවේගානන්ද පාසලේ නේවාසිකාගාරයේ නතර වී අධ්‍යාපනය ලබන සිසුවියකි.
''මම එන්නේ නැග්රැක් ඉඳලා. සඳුදට ඉස්කෝලෙට එන්න පැය පහක් විතර යනවා. අපේ අම්මලා, තාත්තලා හුගක් අමාරුවෙන් අපිට උගන්වන්නේ. අපේ සර්ල, ගුරුතුමීලා කොහොමහරි ඉගෙනගන්න උදවු කරනවා.'' යනුවෙන් ඇය කියා සිටියාය.
ඇය සමග කතාබහ කරමින් සිටින අතරතුර නේවාසිකාගාරයේ පාලිකාව වන එම්. ජයන්ති ද මුණ ගැසුණි.

බොහෝ අගහිගකම් මැද දරුවන් ගෙවන ජීවිතය ඇය හොඳින් දනී.
''අපි අය කරන්නේ 1500 ක් වගේ ගාණක්. කලාතුරකින් තමයි එළවලු වර්ග මොනවා හරි දෙන්න වෙන්නේ. මීට වඩා හොඳ කෑම වේලක් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් හොඳයි.'' යනුවෙන් ඇය පැවසුවාය.
නවය ශ්‍රේණියේ කඩුල්ල
නවය ශ්‍රේණියෙන් අනතුරුව තවදුරටත් අධ්‍යාපනය ලබන්නේ නම් මෙම දරුවන් තවත් කිලෝමීටර් විසිපහක් පමණ දුර ගෙවා බලංගොඩට යා යුතුය.
බලංගොඩ හින්දු විද්‍යාලය, බලංගොඩ කනකනායගම් විද්‍යාලය සහ සී. සී දෙමළ මහා විද්‍යාලය මෙම දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුළත් විය හැකි පාසල් වේ.
එම දුෂ්කරතාවද දරුවන්ගේ පාසල් ගමන හමාර කිරීමට බාධකයක් වී ඇත. එබැවින් එම බාධකය ඉවත් කිරීමේ උත්සාහයක් පවතී.
''පළාත් අධ්‍යාපන ලේකම් තුමිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ උපදෙස් මත අපි උත්සාහ කරනවා 11 ශ්‍රේණි දක්වා ඉදිරියේදී මේ පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්න'' විදුහල්පතිවරයා සඳහන් කළේය.
විවේගානන්ද විද්‍යාලයේ අධ්‍යාපන ලබන සියලු දෙනා දමිළ දරුවෝය. ඔවුන්ගේ මවුපියන්ගේ මුල් පරම්පරා ඉන්දියාවේ සිට පැමිණි අය වේ.
ගුරු දෙවිවරු
පාසලේ දරුවන්ට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම්, වැසිකිළි හා ජල පහසුකම් ආදිය හොඳින් සපයා ඇති අයුරු දක්නට ලැබුණි. මෙම දරුවන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් ද සලසා ඇත.
පංති කාමරවලට යන විට දරුවෙකුගේ අතින් අල්ලාගෙන අකුරු ලියන්නට හුරු කරන ගුරුවරියක් දක්නට ලැබුණු අතර මනසින් මම ද බාල වියට ගිය බැවින් ඒ ස්ථානයේ මොහොතක් නතර වුණෙමි.
බීබීසී සිංහල සේවය වෙනුවෙන් මෙහි පැමිණි බව එම ගුරුවරියට පැවසු මම ඔවුන් විදින දුෂ්කරතා ගැන ද විමසීමි.
''අපි මේ ඉස්කෝලෙට එන්නේ ගොඩක් දුර ඉඳලා. අපි ගුරුවරු තුන්දෙනා ගානේ එකතු වෙලා මාසෙකට රුපියල් 13,500ක් දෙනවා ත්‍රීවිල් එකට. මොන තරම් දුෂ්කරතා තිබුණත් අපි උදේ 7.20 වෙනකොට ඉස්කෝලෙට එනවා'' යනුවෙන් ඇය පැවසුවාය.

නගරයේ පාසලක මෙන්, දරුවන් ප්‍රයෝගිකව කරන බොහෝ වැඩ පංති කාමරවල දක්නට ලැබුණි.
පාසලට නොපැමිණි දරුවන් සොයා ගිය ගමන
නොන්පරේල්, විවේගානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ කාර්යාලයෙන් ඉවතට පැමිණ වම් පස බැලූ විට අහස සිඹින කඳු වළල්ලක් දිස්වේ. නැග්රැක් ගමට යෑමට ඒ ගිරි දුර්ගය තරණය කළ යුතුය.
ගමන ඉතා දුෂ්කර වුවද පාසලේ සිට කිලෝමීටර් 14ක් දුර ගෙවමින් නැග්රැක් ගමට පිවිසියෙමි.
කන්දේ උසම ස්ථානයේ ගම පිහිටා ඇති බැවින් නිතර තද සුළං හමයි. එම ස්ථානයේ දක්නට ලැබෙන්නේ වතු නිවාස පෙළකි. එළුවන් සමග සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු දැක මම ඒ දෙසට පියමන් කළෙමි.
''පුතා අද ඉස්කෝලේ ගියේ නැද්ද ?''
''අද වැස්සට අපි ගියේ නෑ'' යැයි පිළිතුරු දෙමින් ඔවුහු මා අසළට දිව ආවෝය.
ඒ අතර සිටි පී.ප්‍රදීප් පැවසුවේ තමන් 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර නේවාසිකාගාරයේ ආහාර සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට මවුපියන්ට නොහැකි වීම නිසා නිවසේ සිට පාසල් යන බවයි.
''වැස්ස දාට කුඩයක් ඉහළ ගෙනවත් යන්න බෑ. හයියෙන් හුළඟ. පාර පුරා වතුර යනවා. පුළුවන් දවසට ඉස්කෝලේ යනවා'' යනුවෙන් ඔහු පවසන ලදී.
එම දරුවාගේ මව ද එම ස්ථානයට පැමිණියාය.
බොහෝ ආර්ථික අපහසුකම් මැද ජිවත්වන නිසා දරුවන්ගේ පාසල් ගමනට බාධා සිදුවන බව ඇය ද පැවසුවාය.
ඒ අතර සිටි අනෙක් දරුවා ද පැවසුවේ වර්ෂාව නිසා අද දින පාසල් නොගිය බව ය.
මේ අතර දුෂ්කරතා හේතුවෙන් තවත් දරුවන් තිදෙනෙකු පාසල් ගමන නවතා දමා ඇති බව ද මේ ගමනේ දී මට දැනගන්නට ලැබුණි.
කියවන්න:








