2020 මහ මැතිවරණය අගෝස්තු 5 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගෝස්තු 05 වන දා පැවැත්වීමට තීරණය කළ බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, බදාදා (ජූනි 10) පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ පිළිබද ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට යැවූ බව ද ඔහු සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ, තමන් මීට පෙර පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථ දක්වමින් ඇතැම් මාධ්‍යවල පළ කර තිබූ බවය.
"මම කිව්වෙ එක ම කොරෝනා රෝගියෙක්වත් නැහැයි කියල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්තයා කියනව නම් අපිට මාස දෙකක් යන්න කලින් මැතිවරණය තියන්න පුළුවන් කියලා. ඒත් සමහර මාධ්‍යවල පළ වුණේ, මහ මැතිවරණය පවත්වන්න එක රෝගියෙකුවත් නැති වෙනකම් මැතිවරණ කොමිසම බලාගෙන ඉන්නව කියලා."
2020 මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජූනි මස 20 වන දා පැවැත්වීමට මීට පෙර දින නියම කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහෙත්, කොරෝනාවෛරස් වසංගතයත් සමග එම දිනය වෙනස් කිරීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කළේය.
අදාළ දිනයේදී මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙසට අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම එම ඡන්ද විමසීමට මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇතැයි නිවේදනය කළේය.
මහින්ද දේශප්‍රිය පැවසුවේ ඡන්ද විමසීම නිසා කොරෝනාවෛරසය ව්‍යාප්තවීමට ඇති අවදානම වළක්වා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බැවින් මාස දෙකක පමණ කාලයක් ඒ සදහා ගත විය හැකි බවය.
මෙවර මහ මැතිවරණය සදහා වැය වන වියදම රු. කෝටි 650ක් ලෙසට ඇස්තමේන්තු කර තිබුණ ද, එම වියදම රු. කෝටි 900 ද ඉක්මවිය හැකි බව මහින්ද දේශප්‍රිය අගහරුවාදා (ජූනි 09) පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළේය.
මේ අතර, මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ අංක ඇතුළත් ගැසට් පත්‍රය ද අගහරුවාදා නිකුත් කෙරිණි.
ඒ අනුව මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙනුවෙන් දේශපාලන පක්ෂ 20 ක් හා ස්වාධීන කණ්ඩායම් 34 ක් යටතේ අපේක්ෂකයින් 7344 දෙනෙකු මෙවර තරග වැදීමට නියමිතය.








