ජාතික බුද්ධි පනත: චුදිතයන්ට මුක්තිය හිමි වෙයිද?

බුද්ධි අංශ නියාමනය කිරීමේ පනතක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

සියලු ම බුද්ධි අංශ ආවරණය වන පරිදි 'බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බල ගැන්වීමේ පනතක්' ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය පියවර ගනිමින් සිටී.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූයේ, ජනවාරි 14 වන දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

ජනවාරි 15 වන දා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, එම පනත "කෙටුම්පත් කිරීම සඳහා වන බලය නීතිපති තුමාට පවරා ඇති," බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

අදාළ කැබිනට් තීරණය පහත දැක්වේ.

බුද්ධි අංශ නියාමනය කිරීමේ පනතක්

එම කැබිනට් නිවේදන පත්‍රිකාවේ සදහන් කර ඇත්තේ, 'ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලු ම බුද්ධි ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි බුද්ධි අංශ නියාමනය කිරීමේ හා බලගැන්වීම' සඳහා මෙම පනත කෙටුම්පත් කෙරෙන බවය.

එහි දැක්වෙන්නේ, 'බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා සහ බුද්ධි අංශ බලාත්මක කරමින් ඔවුන්ගේ මෙහෙයුම් කටයුතුවලට සහය වීම සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් නෛතික ප්‍රතිපාදන දැනට නොමැති වීම හේතුවෙන් ඇතැම් බුද්ධි අංශ කටයුතු සීමා වී ඇතැයි පෙනී ගොස් ඇති' බවය.

නිලධාරීන්ගේ මුක්තිය

කැබිනට් නිවේදන පත්‍රිකාවේ එලෙස සඳහන් කර තිබුණ ද, කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, "ඔවුන්ගේ (බුද්ධි අංශ සාමාජිකයින්ගේ) රාජකාරියේ වගකීම් ආරක්ෂා කරන්න, මුක්තිය ලබා දෙන්න, බුද්ධි අංශවලට නෛතික බලයක් ලබා දෙන්න, ඒ අනුව ජාතික කර්තව්‍යයන් ඉෂ්ට කර ගැනීම සඳහා" නව පනත් කෙටුම්පත සකස් කෙරෙන බවය.

ජාතික බුද්ධි පනතට පක්ෂව සහ විපක්ෂව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස පළ වී තිබුණි.

නුවන් චාමර අදහස් දක්වමින් කියා තිබුණේ එය බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමයක් බවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මේ අතර මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සඳහන් කළේ ජාතික බුද්ධි සේවා පනත හරහා ජනතා අරගල මර්දනයට ආණඩුව උත්සහ කරමින් සිටින බවය.

ආණ්ඩුව මෙවැනි අන පනත් ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ ශ්‍රී ලංකාව "ඉතාම බරපතල ආර්ථික අර්බුදයකට" මුහුණ දී සිටින අවස්ථාවක ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටෙමින් පවතින බැවින් මර්දනයක් දියත් කිරීමට සිදු වී තිබෙන බැවින් බවය.

එබැවින් එම පනත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන මෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය බලකරන බව ද පුබුදු ජයගොඩ පැවසීය.

පුබුදු ජයගොඩ

ඡායාරූප මූලාශ්‍රය, Youtube

අදාළ පනත මගින් "බුද්ධි අංශ සාමාජිකයින්ට මුක්තිය ලබා දීමක් සිදු වන්නේ නම් එය භයානක තත්ත්වයක්" බව අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ, "හමුදා සාමාජිකයින් අතින් දකුණේ සිංහල ජනතාවට පවා සිදු වූ හිරිහැරවලට සාක්ෂි රැසක් ඇති," බවය.

බ්‍රිටෝ ප්‍රනාන්දු

ඡායාරූප මූලාශ්‍රය, Imadr Ac/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිටෝ ප්‍රනාන්දු

"තරුණයින් අතුරුදන් කිරීම්, කප්පම් ගැනීම් වැනි චෝදනා එල්ල වුණ ආරක්ෂක සාමාජිකයෝ ඉන්නවා. ඒ අයට මුක්තිය හිමි වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද?" බ්‍රිටෝ ප්‍රනාන්දු විමසීය.

"ඒ නිසා මගේ අදහස නම් මේ වගේ පනතක් කිසිසේත් අනුමත නොවිය යුතුයි කියන එකයි," ඔහු අවධාරණය කළේය.

විපක්ෂයත් නිහයි

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ අදහස් විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ ප්‍රකාශ කළේ, "පවතින තත්ත්වය අනුව අපට හිතා ගන්න අමාරුයි කුමන් පැත්තකට ද යන්නේ කියලා. හැබැයි මේ සම්බන්ධයෙන් විපක්ෂයේ කිසි කෙනෙක් අදහස් දක්වා නැහැ. අපට හිතා ගන්න බෑ ඒ අය මේ ගැන කතා නොකරන්නේ ඇයි කියලා. ඒ නිසා අපට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්න හැකියාවක් නෑ තවම," යනුවෙනි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්ගෙන් අදහස් විමසුවෙමු.

අකිල විරාජ් කාරියවසම්

ඡායාරූප මූලාශ්‍රය, Akila Viraj Kariyawasam/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, අකිල විරාජ් කාරියවසම්

ඔහු ප්‍රකාශ කළේ, "බුද්ධි අංශ මුවාවෙන් පසුගිය කාලයේ විවිධ වැරදි පූර්වාදර්ශ සිදුවූ හෙයින් අදාළ පනත හරහා බුද්ධි අංශ සාමාජිකයින්ට මුක්තිය ලබා දීමක් සිදුවුවහොත් එය අනුමත කළ නොහැකි," බවය.

"එවැනි මුක්තියක් ලබා දුන්නොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් නෙවෙයි. ඒ නිසා එවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් ඒකේ අන්තර්ගතය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තමයි අපි තීන්දුවක් ගන්නේ," එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

ආචාර්ය හරිනි අමරසූරිය

ඡායාරූප මූලාශ්‍රය, WWW.CMB.AC.LK

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය හරිනි අමරසූරිය

මේ අතර, විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ද මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළාය.

"ඇත්තට ම මේ පනතේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපි තවම මොනවත් දන්නේ නැහැ. ඒ නිසා අන්තර්ගතය දකින තුරු නිශ්චිතව දෙයක් අපට කියන්න අමාරුයි. ඒත්, මේ පනත ගැන අපි ගොඩක් පරිස්සම් විය යුතුයි," ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

"බුද්ධි පනතක් මගින් මිලිටරි එක තද කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බැලුවොත් මෙවැනි පනත් ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් මේක හොඳ දෙයක් නෙවෙයි."

තවදුරටත් කියවන්න: