ජනාධිපතිවරණය සහ මීගමුවේ ප්‍රතිඵල: "තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා"

easter attack

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෞද්ධ දර්ශනය අනුව වෛරී ප්‍රකාශ අනුමත කළ නොහැකි බව බැදිවැව දියසේන හිමි පවසති

ජනාධිපතිවරණ ප්‍රතිඵල මුල් කර ගනිමින් පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලද සහ සිය ඥාතීන් අහිමි වූ මීගමුව සහ ඒ අවට ජනතාව පීඩාවට ලක් නොකරන ලෙස කතෝලික පියතුමෙක් සමාජ ජාල පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.

2019 නොවැම්බර් 16 වන දා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිංහල බෞද්ධ බහුතරය වෙසෙන ප්‍රදේශ ජයග්‍රහණය කළ අතර ඔහුගේ ප්‍රතිවාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස බහුතර දෙමළ සහ මුස්ලිම් ජනයා වෙසෙන ප්‍රදේශවල වඩාත් හොඳින් ඡන්ද ලබා ගෙන තිබිණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ වත්තල හැර ජාඇළ, ගම්පහ, මහර, අත්තනගල්ල, මිනුවන්ගොඩ, බියගම, කැලණිය, දොම්පේ, මීරිගම, දිවුලපිටිය සහ කටාන යන සියලු ම මැතිවරණ කොට්ඨාස ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේය.

කතෝලික භක්තිකයන් වැඩි වශයෙන් වෙසෙන මීගමුවේ ජනතාවගේ ඡන්ද භාවිතය විවේචනය කරමින් සමාජ ජාල ඔස්සේ වෛරී ප්‍රකාශ පළ වූයේ එවන් පසුබිමකදීය.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

'ජේසුට මං ආදරෙයි' නමැති ෆේස්බුක් පිටුව ඔස්සේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ශිරාන් චාමික පියතුමා ෆේස්බුක් සමාජ ජාලයේ තමන් දුටු අදහස් (comments) කිහිපයක් පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළේය.

"මීගමුවේ එවුන්ට බෝම්බ ගහලත් උන් බෝම්බකාරයන්ටමයි වෝට් කරලා තියෙන්නේ"

"මීගමුවට බෝම්බ ගහල මදි වගේ"

"මීගමුවේ එවුන්ට බෝම්බ කාලත් ලැජ්ජ නැහැ"

"මීගමුවට බෝම්බ පිට බෝම්බ ගැහුවත් මදි"

"මේ ඔක්කොට ම වඩා හිතට ලොකු වේදනාවක් දැනෙන එක තමයි, එක් කෙනෙක් දාල තියනවා, අනේ තව එක පල්ලියකට දෙකකට වදිනවා නම් දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ කියලා" යනුවෙන් ශිරාන් චාමික පියතුමා පැවසීය.

"ඒ දාපු පුද්ගලයා බෞද්ධ ද කතෝලික ද මුස්ලිම් ද හින්දු ද කියලා මට කියන්න බැහැ. හැබැයි මම එක දෙයක් කියනවා. ඔහු අදහන ආගමෙන් ඔහුට කිසි ම දෙයක් ලැබිලා නැහැ. එහෙම ලැබිලා තියනවා නම් මෙහෙම පෝස්ට් එකක් දාන්න බැහැ. මෙහෙම පෝස්ට් දාන අයට ආගමක් තියනවා කියලා මම හිතන්නේ නැහැ"

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

පාස්කු ඉරු දින බෝම්බ එල්ල වූ අවස්ථාවේ විපතට පත් ජනතාව වෙනුවෙන් දුකට පත් වූ හඬා වැටුණු පුද්ගලයන් ඒ ආකාරයේ අදහස් පළ කරන්නේ කෙලෙස දැයි ශිරාන් චාමික පියතුමා ප්‍රශ්න කරයි.

"මතක තියා ගන්න තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන අය. පිට ඉඳලා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ තුවාල තාමත් සුව වෙලා නැහැ. ඒ මිනිස්සුන්ව මෙතනදී අල්ල ගන්න, ඈඳ ගන්න එපා. ඒ මිනිස්සුන්ගේ හිතට තවත් දුකක් දෙන්න එපා. ඔබ ඔබේ ජයග්‍රහණය සමරන්න. සම්පූර්ණ අයිතිය තියනවා ඒ ජයග්‍රහණ සමරන්න," යනුවෙන් ශිරාන් චාමික පියතුමා ඉල්ලා සිටිති.

"ඒ මිනිස්සු කොච්චර වේදනාවකින් ද ඉන්නේ. ඒ මිනිස්සුන්ට මෙහෙම කියද්දී තමන්ගේ අම්මා, තාත්තා නැති වෙලා තමන්ගේ දරුවෝ ඇස්පනාපිට ම කෑලිවලට කුඩු වෙලා ලේ බඩවැල් අතින් අරන් ගිය දෙමව්පියන්ට කියද්දී ඔහොම වෙලා මදි කියලා එහෙම වේදනාවක් දීලා සතුටු වෙන්න එපා."

"වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ට, තුවාල වෙලා ඉන්න මිනිස්සුන්ට අපේ තිරිසන් ගුණ එලියට අරගෙන මිනිස්සුන්ව තවත් දුකට පත් නොකර ඉමු."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

කුමන පුද්ගලයෙකු බලයට පත් වුවත් "මගුලකදී, මරණයකදී" සහයට ඉන්නේ අසල්වැසියන් පමණක් බව පවසන ශිරාන් චාමික පියතුමා "නායකයෝ පස්සේ ගිහින් මිනිස්සු නැති කර ගන්න එපා," යනුවෙන් ඉල්ලා සිටිති.

ඉහත කී වීඩියෝ පටය ඔස්සේ කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මීගමුවේ ජනතාව විවේචනයට ලක් කළ ඇතැම් පුද්ගලයන් තමන්ට පෞද්ගලිකව කතා කර සමාව ඉල්ලා සිටි බව ශිරාන් චාමික පියතුමා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

එවැනි 'Post' සිය පිටුවලින් ඉවත් කළ බව සමාජ ජාල පිටු පවත්වාගෙන ගෙන ඇතැම් පුද්ගලයන් (Admin) තමන්ට දන්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බැදිවැව දියසේන හිමි පාස්කු ප්‍රහාරයේ ගොදුරක් වූ කටුවාපිටියට පැමිණ විපතට පත්වූ ජනතාවට පිහිට වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි.

බෞද්ධ දර්ශනය අනුව ඉහත කී ආකාරයේ වෛරී ප්‍රකාශ අනුමත කළ නොහැකි බව උන්වහන්සේ බීබීසී සිංහල සේවයට කියා සිටියහ.

"වහා ම මේ දේවල් නැවැත්වීමට බලධාරීන් ක්‍රියා කළ යුතුයි. මම හිතන්නේ පාස්කු ප්‍රහාරයෙන් තම සහෝදරයා,අම්මා, තාත්තා නැති වුණාට සමාන දුකක් ඒ අයට දැනෙන්න ඇති මේ ප්‍රතිචාර දැකලා," යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධ කර මීගමුවේ ජනතාව විවේචනයට ලක් කිරීමට එරෙහිව තවත් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.