ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ දී ඡන්දය ලකුණු කරන්නේ කෙසේද?

Presidential elections Sri Lanka 2019

2019 නොවැම්බර් 16 වෙනි සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය, රැගෙන යා යුතු ලේඛන මෙන්ම පිළිපැදිය යුතු නීති රීති පිළිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරු සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කරන ලද නිවේදන අනුව මෙම ලිපිය සකස් කර ඇත.

ඡන්ද මධ්‍යස්ථාන විවෘතව ඇති කාල සීමාව

අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව දිගින් අඟල් 26 කි. එය 2015 ජනාධිපතිවරණය හා සැසඳීමේ දී දෙගුණයක දිගින් යුක්ත වේ.

මේ හේතුවෙන්, දිවයින පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන පැයක වැඩි පුර කාලයක් විවෘතව තැබීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ ඡන්ද දායකයන්ට සිය ඡන්දය භාවිත කළ හැකිය

මෙවර ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය (15992096) දෙනෙක් සිටින අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් ස්ථාපිත කර ඇත.

එමෙන්ම, නොවැම්බර් මස 16 වෙනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස පාසල් ගොඩනැගිලි සහ පාසල් පරිශ්‍ර යොදාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව කරන ලද ඉල්ලීමට අනුව, 2019-11-15 දින දිවයිනේ සියලු ම පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

Presidential elections Sri Lanka 2019

ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යා යුතු ලේඛන මොනවාද?

ඡන්දය භාවිත කිරීමේ දී සිය අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන අතර, ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛනයක් රැගෙන යෑම අනිවාර්යය වේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන:

  • ජාතික හැඳුනුම්පත
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වලංගු රියදුරු බලපත්‍රය
  • වැඩිහිටි හැඳුනුම්පත
  • විශ්‍රාමික හැඳුනුම්පත
  • පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත

හැඳුනුම්පතක් නොමැති නම් කළ යුත්තේ කුමක් ද?

ඉහත කී ආකාරයේ හැඳුනුම්පතක් නොමැති නම් එම පුද්ගලයන් තාවකාලික නැතිනම් විශේෂ හැඳුනුම්පතක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Presidential elections Sri Lanka 2019

එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ හැඳුනුම්පත් ලබා ගැනීමේ කාල සීමාව 2019 නොවැම්බර් 09 දින අවසන් වීමට නියමිතව තිබූ නමුත් පුරවැසියන්ගේ, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ඉල්ලීම පරිදි එකී කාල සීමාව 2019 නොවැම්බර් 13 දින මධ්‍යහ්න 12:00 දක්වා දීර්ඝ කළ අතර මේ වන විට එම කාල සීමාව ද අවසන් වී තිබේ.

නිල ඡන්ද දැන්වීම් පත රැගෙන යා යුතුද?

තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත (Poll Card) ඡන්ද මධ්‍යස්ථානයට ගෙන යෑම අනිවාර්ය නොවන නමුත්, එය රැගෙන යාමෙන් ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරීන්ට ද සිය රාජකාරිය ඉටු කිරීම පහසු වේ.

ඡන්දය භාවිත කිරීමේදී අනුගමනය කළ යුතු පියවරමොනවාද?

ඡන්ද පොළට ඇතුළු වන පුද්ගලයෙකුට එහි එක් පසෙක සිටින නිලධාරීන් හතර දෙනෙකු දක්නට ලැබේ.

ඉන් පළමුව සිටින නිලධාරියා ඡන්ද දායකයා රැගෙන එන අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනය පරීක්ෂා කර බලා එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් දෙවෙනි නිලධාරියා වෙත යොමු කරනු ලබයි.

තෙවෙනි නිලධාරියා ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත ආලේපනය කරනු ඇත. එසේ තීන්ත ආලේපනය කිරීමට එකඟ නොවන පුද්ගලයෙකුට ඡන්දය භාවිත කිරීමට ඉඩ නොදෙනු ඇත.

Presidential elections Sri Lanka 2019

ඇඟිල්ලේ තීන්ත ආලේපනය කිරීමෙන් පසු හතරවෙනි නිලධාරියා වෙත යොමු විය යුතු අතර, ඔහු හෝ ඇය ඡන්ද පත්‍රිකාවක් (Ballot paper) ලබා දෙනු ඇත.

එය රැගෙන ආවරණය කළ කුටිය තුළට ගොස් සිය ඡන්දය ලකුණු කළ හැකිය.

නිවැරදි ලෙස ඡන්දය ලකුණු කරන්නේ කෙසේ ද?

ඡන්දයක් වලංගු වීම සඳහා එහි නිවැරදි සලකුණු යෙදිය යුතුය.

තමන් ඡන්දය ලබා දෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ 1 ඉලක්කම හෝ X සලකුණ ලකුණු කිරීම ප්‍රමාණවත්ය.

තම ඡන්දය අපේක්ෂකයන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ලබා දීමේ හැකියාව ද ඇත. නමුත් මෙහි දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබේ.

දෙදෙනෙකුට පමණක් ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2 යනුවෙන් සටහන් කළ යුතුය.

තිදෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් අදාළ අපේක්ෂකයන්ගේ නම සහ සලකුණ ඉදිරියේ පිලිවෙළින් 1, 2, 3 ලෙස සටහන් කිරීමෙන් මේවා වලංගු ඡන්ද බවට පත් වේ.

Presidential elections Sri Lanka 2019

ඡායාරූප මූලාශ්‍රය, News.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ නිල ප්‍රවෘත්ති අඩවියේ රූප රාමු සහිතව පැහැදිලි කර තිබූ ආකාරය

ඔබේ ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් වන්නේ කෙසේ ද?

  • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණු (X) එකකට වැඩියෙන් සටහන් කර තිබීම.
  • ඡන්ද පත්‍රිකාවේ කතිර ලකුණ සටහන් කර දෙවෙනි සහ තෙවෙනි මනාප සඳහා ඉලක්කම් යොදා ගැනීම.
  • ඡන්ද පත්‍රිකාවේ පළමු අපේක්ෂකයාට 1 ලකුණ සදහන් කර අනෙකුත් අපේක්ෂකයින් සඳහා කතිර ලකුණු යෙදීම.
  • වෙනත් කිසියම් සලකුණු භාවිත කිරීම.

ඡන්දය ලකුණු කළ පසු කුමක් කළ යුතු ද?

ඡන්දය ලකුණු කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව හොඳින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ශාලාවේ ඇති ඡන්ද පෙට්ටියට දැමිය යුතුය.

"වැරද්දක් වුණා" අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා ගත හැකි ද?

තමන් කැමැත්තෙන් සිටි අපේක්ෂකයා වෙනුවට අත්වැරදීමකින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරියේ ඡන්දය ලකුණු කළ බව යම් අයෙකු පැවසීමෙන්, ඔහු හෝ ඇයට අමතර ඡන්ද පත්‍රිකාවක් ලබා දීමට මධ්‍යස්ථානයේ සිටින ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට කිසිඳු බලයක් හිමි නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

Presidential elections Sri Lanka 2019

"අනවධානය නිසා සිදුවන අත්වැරදීම්" සඳහා පමණක් තවත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාට බලය ඇති බව සභාපතිවරයා පැවසුවේය.

උදාහරණ වශයෙන්:

යම් හෙයකින් වම් අතේ සුලැඟිල්ලේ සලකුණු කෙරෙන තීන්ත ඡන්ද පත්‍රිකාවේ ගැවුණු අවස්ථාවක.

ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමේදී ඉරී ගිය විට.

විශේෂ ඡන්ද දායකයන් (ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත)

දෑස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත්, ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ඇත.

නමුත් දෘෂ්ඨි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකා සියතින් ලකුණු කිරීමට නොහැකි අයට, තමාගේ සහාය සඳහා වෙනත් අයෙකු කැටුව ආ හැකිය.

මෙවැනි ඡන්ද දායකයන් ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු සහතික කළ සහතිකයක් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ආ යුතුය.

නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සමාජිකයෙකු ඉදිරිපිට ඡන්ද කුටිය තුළදී ඡන්දය සළකුණු කළ හැකිය.

Presidential elections Sri Lanka 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නමුත් දෘෂ්‍ය ආබාධිත ඡන්ද දායකයෙකු වෙනත් පුද්ගලයෙකු කැටුව නොආ විට, පනතේ සඳහන්ව නොමැති නමුත් මීට පෙර මැතිවරණවල දී සිදු කළ පරිදි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ තවත් නිලධාරියෙකු සමඟ ඡන්ද දායකයා කුටිය වෙත කැටුව ගොස් ඔහුගෙන් කරුණු විමසා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා, ඡන්ද දායකයා ඉල්ලා සිටින ආකාරයට අනෙක් නිලධාරියා ඉදිරියේදී ඡන්දය ලකුණු කළ හැකිය.

ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව කෙසේ ද?

ඡන්ද මධ්‍යස්ථානවල සහ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති හෙයින් ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන්ට බලපෑම් කිරීමට හෝ යම් කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහ දරණ පුද්ගලයන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

මේ තොරතුරුද කියවන්න: