ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 48ක් එක්වේ
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝ මීටර් 48ක දුර ප්‍රමාණයක් එක්කිරීම අද (07) සිදුකෙරිණ. ඒ අනුව ලබන 9 වැනි සෙනසුරාදා දින සිට අධිවේගී මාර්ග කොටස් තුනක් මහජනතාව සඳහා විවෘත වන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය.
- පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත - කෙරවලපිටිය කි.මි 9.6
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව - හම්බන්තොට කි.මි 16.6
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල කි.මි 21.8
මේ වන විට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වසරවලදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න සොයා බැලීම පිණිස බීබීසි සිංහල සේවය එම මාර්ග ඉදිකිරීමේ නියමුවන් වන ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සමග සංවාදයක යෙදිණි. මේ, දැනට E01 සිට E05 දක්වා ඉදි වී ඇති, ඉදිකරමින් පවතින සහ සැළසුම් කරමින් තිබෙන අධිවේගී මාර්ග පද්ධතියේ වත්මන් තත්ත්වය විමසා බැලීමකි.
- E-01 : දක්ෂිණ අධිවේගී මාර්ගය
මේ වන විට කොට්ටාව සිට මාතර දක්වා කිලෝ මීටර් 126.1ක් වන දක්ෂිණ අධිවේගී මාර්ගයට අද දින එකතුකළ කිලෝ මීටර් 26.2 ප්‍රමාණයට ඉදිරියේදී තවත් කොටස් එකතුවීමට නියමිතය.
- ගොඩගම-බෙලිඅත්ත කිලෝ මීටර් 30ක්
2016 ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළ මෙම කොටසේ ඉදිකිරීම් ලබන නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
- බෙලිඅත්ත - බරවකුඹුක කිලෝ මීටර් 26ක්
2016 ඔක්තෝබර් මාසයේ වැඩ ආරම්භ කළ මෙම කොටසේ ඉදිකිරීම් ලබන නොවැම්බර් මාසය වන විට කසගල ප්‍රදේශය දක්වා අවසන් වන බව පවසන මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ එහි ඉතිරි කිලෝමීටර් 7 ක් පමණ ප්‍රමාණය 2019 වසර අවසානයේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.
- බරවකුඹුක - අන්දරවැව කිලෝ මීටර් 17ක්
2016 ජනවාරි මාසයේ වැඩ ආරම්භකළ මෙම කොටසේ ඉදිකිරීම් අද (07) දින විවෘත විය.
- හම්බන්තොට සිට සිට මත්තල දක්වා අන්දරවැව හරහා කිලෝ මීටර් 22ක්
2016 ජනවාරි මාසයේ වැඩ ආරම්භකළ මෙම කොටසේ ඉදිකිරීම් අද (07) දින විවෘත විය.
මේ වසර අවසානය වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයට කිලෝමීටර් 96ක් මෙලෙස එකතුවන බව පවසන මාර්ග සංවර්ධන අධිකාරියේ නිහාල් සූරියආරච්චි ඒ අනුව පැය 2 1/2කට අඩු කාලයකින් කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 222ක කොටස ගමන් කළ හැකි බව පවසයි.
දැනටමත් දක්ෂිණ අධිවේගය කොළඹ පිටත වටරවුම් අධිවේගයේ කඩවත දක්වා වූ කිලෝ මීටර 24ක කොටස සමඟ යා වී ඇති නිසා කඩවත සිට හම්බන්තොට දක්වා එක් අධිවේගී මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 246ක් ගමන් ගැනීමේ අවස්ථාව මේ වසර අවසාන වන විට මෙරට ජනතාවට උදාවනු ඇත. ගොඩගම, අපරුක්ක, බෙලිඅත්ත, කහගල්ල, අඟුණුකොළපැළැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව වශයෙන් මෙම අළුතින් එක්වන අධිවේගී මාර්ග කොටසේ මුළු අන්තර් හුවමාරු 8ක් තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ නිහාල් සූරියආරච්චි පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ඉතා මනරම් පරිසරයක් මැදින් දිවෙන මෙම අධිවේගී මාර්ගය අලින් නිතර නිතර එහා මෙහා ගමන් කරන ඔවුන්ගේ සුපුරුදු මාර්ගවලට කිසිදු හානියක් නොවන අයුරින් ඒ ස්ථානවලදි කණුමත ඉදි කර තිබෙන බවය. කොළඹ-ගාල්ල අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ ඇතැම් අඩුපාඩු මඟහරවා කිසිදු ජල මාර්ගයක් මෙම අධිවේගී මාර්ගය නිසා අවහිර නොවන ආකාරයට මෙම ඉදිකිරීම් සිදුකර ඇති බව ඔහු පවසයි. ඔහු පවසන පරිදි මෙම කිලෝමීටර් 96ක කොටසෙ මාර්ගය කොළඹ සිට ගොඩගම දක්වා කොටසට වඩා 20% පළල්ය.
වලවේ ගඟ හරහා අධිවේගී මාර්ගය ඉදිකර තිබෙන අතර ගඟ හරහා මීටර 600ක දිගින් යුත් පාලමක් ඉදිකර තිබේ.
2. E-02 : කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය
මේ වන විට කොට්ටාව සිට කඩවත දක්වා කිලෝමීටර් 18.9ක වන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස අද (07) දින විවෘත කිරීම සිදුවිණි. 2016 ජනවාරි මාසයේ වැඩ ආරම්භකළ මෙම අධිවේගී මාර්ගය කිලෝමීටර 9.6ක දිගකින් යුක්ත වන අතර, එහි කිලෝමීටර් 6.3ක ප්‍රමණයක් උස් කුළුණු මත ඉදිකර තිබේ. මෙම අධිවේගී මාර්ගය හරහා කොට්ටාව - මාතර (E-1) අධිවේගී මාර්ගය සහ කොළඹ- කටුනායක (E-3) අධිවේගී මාර්ග සම්බන්ධ වීම සිදුවේ. ඒ අනුව මේ වසර අවසානයට පෙර දක්ෂිණ අධිවේගයේ ගමන් කරන පුද්ගලයන්ට කොළඹට නොපැමිණ කටුනායක දක්වා ගමන් කළ හැකිවේ.
3. E -03 : කටුනායක අධිවේගී මාර්ගය
කිලෝමීටර් 25.8ක් වන කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය, නොවැම්බර් මාසයේ සැළසුම් කර තිබෙන පරිදි කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කළහොත් දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධවේ. මේ මගින් කටුනායක ගුවන්තොටුපලට මෙන්ම මීගමුව දක්වා ප්‍රවාහනය තවත් කඩිනම් වේ.
4. E - 04 මධ්‍යම අධිවේදී මාර්ගය
මෙම මාර්ගය ඉදිවීමෙන් පසු හම්බන්තොට සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවතට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පැය 4කට අඩු කාලයකින් මහනුවරට යා හැකිවේ. කඩවත සිට දඹුල්ල දක්වා ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සිදුකිරීමට නියමිතව තිබෙන්නේ කොටස් 04ක් යටතේය.
- කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක් - ඉදිකිරීම් ආරම්භක අදියරේ
- මීරිගම සිට කුරුණෑගල දකවා කිලෝමීටර් 39.29ක් - ඉදිකිරීම් අවසන් අදියරේ
- පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක් - ඉදිකිරීම් ආරම්භ කර නොමැත
- කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක් - ඉදිකිරීම් ආරම්භ කර නොමැත
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස් දෙක මේවන විට ඉදිකිරීම් ආරම්භ කර තිබේ. 2017 වසරේ පෙබරවාරි මාසයේ ඉදිකිරීම් ආරම්භකළ මෙහි දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දකවා කිලෝමීටර් 39.29ක කොටසේ ඉදිකිරීම් දේශීය සමාගම් 16ක් විසින් සිදුකරගෙන යන බව පවසන මාර්ග සංවර්ධන අධිකාරිය එම කොටස 2020 වසරේ අප්‍රේල් මාසය වන විට ඉදිකර අවසන් වීමට නියමිත බව සඳහන් කරයි. මෙම අධිවේගී මාර්ගයට සම්බන්ධ වීමට මහනුවර - කොළඹ මාර්ගයේ අඹේපුස්ස සිට කිලෝමීටර් 9.3ක පිවිසුම් මාර්ගයක්ද ඉදිකෙර්.
එහි පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක කොටස ඉදිකිරිම සඳහා චීනයේ එක්සිම් බැංකුව ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාදීමට පසුගිය ජුලි මාසයේදී එකඟවූ අතර ඒ අනුව එම කොටසේ ඉදිකිරීම් කටයුතු දැන් සිදුකරමින් තිබෙන බව නිහාල් සුරියආරච්චි පවසයි. පොතුහැර සිට ගලගෙදර දක්වා වන තුන්වැනි අදියර සඳහා ජපානයේ ණය මුදලක් ලබාගැනීමට නියමිතව තිබේ ඒ සඳහා දැනට සාකච්ඡා පැවැත්වේ. කඳු සහිත අධිවේගී මාර්ගයක් වන පොතුහැර සිට ගලගෙදර කොටසේ බිංගෙවල් ඇතුළු කොන්ක්‍රිට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටසක්ද ඇතුළත් වීමට නියමිතය.
5. E-05 රුවන්පුර අධිවේගී මාර්ගය
කොළඹ- රත්නපුර එක්කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර් 73.9 කොටස් 4 කින් ඉදිකිරීමට යෝජිතය. පළමු කොටස කහතුඩුවේ සිට ඉංගිරිය දක්‌වා ඉදි කෙරෙන අතර එහි මුළු දුර කිලෝ මීටර් 26.3 කි. දෙවන අදියර ඉංගිරියේ සිට රත්නපුරට ඉදි කෙරෙන අතර එහි දුර කිලෝ මීටර් 26.2 කි. තුන්වන අදියර රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්‌වා ඉදිකෙරෙන අතර එහි දුර කිලෝ මීටර් 21.4 කි. මෙහි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතී.
අධිවේගී මාර්ග ඉදිකිරිම සඳහා ශ්‍රී ලංකාව දැනටමත් චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ණය මුදලක් ලබාගෙන තිබෙන අතර 2017 වසරේදී සිදුකළ ගණන් බැලීමකදී 2015 සිට 2025 දක්වා අධිවේගී මාර්ග කි.මි 356 ක් ඉදිකිරිම පිණිස ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1,644ක ණය ලබාගැනීමට නියමිත බව හෙළිවී තිබුණි. මේ ගැන විශ්ලේෂණයක් ඉදිරිපත්කරමින් අමාත්‍ය චම්පික රණවක ඒ අවස්ථාවේදී පවසා තිබුණේ අධිවේගී මාර්ගවලට මුදල් වැය කරනවා යනු තවත් තැනක සංවර්ධනයක් අත්හිටුවීම බවයි. අධිවේගී මාර්ගවලින් ලැබෙන ආදායමින් කළ හැකි එකම දේ එම මාර්ග නඩත්තුව සඳහා යෙදවීම පමණක් බව පැවසූ ඔහු ඒ අනුව සමස්ථ ජනතාවටම අධිවේගී මාර්ගවල ණය ගෙවීමට සිදුවන බව ද පැවසීය. තිරසර සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නේ අධිවේගී මාර්ග ඉදිකිරීම ද නැතහොත් මිනිසුන්ට ජලය, අධ්‍යාපනය, විදුලිය, සෞඛ්‍ය, ප්‍රවාහනය, ඩිජිටල් යටිතල පහසුකම් ලබාදීම ද යන්න ගැන අවධානය යොමුකළ යුතු බවත් ඇමතිවරයා කියා සිටියි.
"අධිවේගී මාර්ග කි.මි. 12 කට යන වියදමින් කොළඹ නගරයට අවශ්‍ය කරන ගුවන් පාලම්, උමං මාර්ග, නව මාර්ග පිළිබඳ ව්‍යාපෘති 15 ක් ඇති කළ හැකි අතර එම ව්‍යපෘති 15 ම ක්‍රියාත්මක කර එමගින් කොළඹ මාර්ග තදබදය අවම කළ හැකිය. එසේම ඉදිකිරීමට යන අධිවේගී මාර්ග කි.මී. 353 න් 60 ක් නැවත්වීමට හැකි නම් කැළණි, කළු, ගිංගඟ, මෙන්ම අත්තනගලූ ඔය ජල ගැලීම් පාලනය කර ජලය නොමැති පීඩා විඳින පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, මොණරාගල, අම්පාර හා හම්බන්තොට ප්‍රදේශ ගණනාවකට ජලය ලබාදී ජල ගැටළුවෙන් රට ගලවා ගත හැකියි," ඔහු සඳහන් කළේය.