ජනාධිපතිධුර අපේක්ෂකත්වය: සජිත්ට සන්ධානයේ සහය ලැබෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, PAtali Champika Ranawaka/Facebook
"මට පේන හැටියට මේ ඡන්දෙ අපට දිනන්න පුළුවන් එකක් එකමුතුව අපි යනවා නම්. අපි ඔක්කොම එකතු කරගෙන සන්ධානය හදාගෙන ඉදිරියට යනව නම් අපට පුළුවන් මේ කටයුත්ත කරන්න,"මෙසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහය. ඒ, සඳුදා (අගෝස්තු 19) අරලිය ගහ මන්දිරයේදී දිස්ත්‍රික් කිහිපයක පළාත් පාලන මහජන නියෝජිතයින් පිරිසක් අමතමිනි.
ඔහු එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව එලෙස අනාවැකි පළ කළේ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයෙකු නම් කර නොමැති වාතාවරණයක් තුළය. ඒ සම්බන්ධයෙන් එකඟත්වයක් ද මෙතෙක් ඇති වී නොමැත.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරෙන ජනාධිපති ධූර අපේක්ෂකයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂ අනුමත කළ යුතු බවට පසුගිය සෙනසුරාදා (අගෝස්තු 17) පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණි බව වාර්තා විය.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රාජිත සේනාරත්න, චම්පික රණවක, රවුෆ් හකීම්, අර්ජුණ රණතුංග මෙන් ම එක්සත් ජාතික පක්ෂයේ අකිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රවී කරුණානායක සහ කබීර් හෂීම් ඊට එක්වී තිබිණි.
සජිත් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳව නිල දැනුම් දීමක් කර නැතත්, තමන් "අනිවාර්යයෙන් ම එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා" යැයි සජිත් ප්‍රේමදාස ට්විටර් ඔස්සේ පළ කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අඟහරුවාදා (අගෝස්තු 20) රාත්‍රියේ සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡා කළහ. එම හමුව පැවැත්වුණේ, අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසේදීය.
එම හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි බීබීසී සිංහල සේවයට පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂාව බවය.
"අවුරුදු විසි ගාණක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් නැතුව අපි වගේ ම අපේ ජනතාව දුක් වින්දා. දැන්වත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ඔහු ජයග්‍රහණය කරවිය යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ නායකතුමා නිවැරදි තීරණයක් ගනියි කියලා. අපි මේ ගැන හොඳට හොයල බලලයි කියන්නේ. සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළොත් විරුද්ධ දේශපාලන පක්ෂ කීපයක ම අය අපට සහය දෙන්න පොරොන්දු වෙලා ඉන්නවා. ඒ නිසා අපට දිනන්න පුළුවන්."
මේ වන විට, මංගල සමරවීර, ආචාර්ය හර්ෂ ද සිල්වා, නීතිඥ අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, හරින් ප්‍රනාන්දු ආදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් රැසක් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට බල කර සිටිති.
එක්සත් ජාතික පක්ෂයට කුමක් වෙයි ද?
ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මෙන් ම එම පක්ෂයට සහය දෙන පාර්ශව අතර ද මතභේද වර්ධනය වෙමින් පවතී.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය නියෝජනය කරමින් ජනාධිපති ධූර අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය හෝ පාඨලී චම්පික රණවක ඉදිරිපත් වනු ඇති බවට සමාජය තුළින් අදහස් පළවේ.

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook
එක්සත් ජාතික පක්ෂය තුළ උද්ගත වී ඇති අර්බුදය පිළිබඳව යම් ඉඟියක් සඳුදා (අගෝස්තු 20) අරලියගහ මන්දිරයේදී පැවති පළාත් පාලන මහජන නියෝජිත හමුවේදී අමාත්‍ය නවීන් දිසානායක ඉදිරිපත් කළේය.
"1990 විශාල පිපිරීමක් එක්සත් ජාතික පක්ෂයේ සිද්ධ වුණා. ප්‍රේමදාස මහතාට විරුද්ධව ගාමිණී දිසානායක මැතිතුමා මගේ දිවංගත පියාණන්, ඇතුලත්මුදලි මැතිතුමා ඒගොල්ලන් පක්ෂයෙන් අයින් වෙලා වෙන ම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. මොකක් ද වුණේ? එක්සත් ජාතික පක්ෂය නැති වුණේ නැහැ. නමුත් එතුමන්ලා පටන් ගත්ත දේශපාලන ව්‍යාපාරය නැති වුණා. අපේ පක්ෂයේ ගැටලු තියෙන්න බෑ."
මේ අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇති බවට සැක පළ වී ඇති අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ජාතික හෙළ උරුමය එළඹෙන ජනාධිපතිවරණයේදී කුමන පියවරක් ගනු ඇත් ද?
මේ සම්බන්ධයෙන් සඳුදා (අගෝස්තු 19) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන් ද යන්න පිළිබඳව තමන්ට ප්‍රශ්නයක් නොමැති අතර සිය පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නේ නම් ඔහුට සහය දෙන බවය.
කතානායක කරු ජයසූරිය ද තමාට පක්ෂයෙන් ආරාධනා කළහොත් ජනාධිපතිවරණයට සහභාගී වීමට සූදානම් බව බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සාකච්ඡාකට එක්වෙමින් මීට පෙර පැවසීය.
සජිත් ප්‍රේමදාසට ශ්‍රී ලනිප සහය?

ඡායාරූප මූලාශ්‍රය, Sajith Premadasa/Facebook
මේ අතර, සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහය දෙනු ඇති බවට සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබිණි.
මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර බීබීසී සිංහල සේවයට පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාසට සහය දීමට තීරණයක් ගෙන නොමැති බවය.
ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් ඉදිරියේදී සාකච්ඡා කිරීමට අදහසක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ඡන්ද පදනම
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයෙකු අවසන් වරට ජයග්‍රහණය කළේ, 1988 වසරේදීය. එලෙස ජය ගත්තේ, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාය. එම ජනාධීපතිවරණයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා ප්‍රතිඵල පහත දැක්වේ.
1988 ජනාධිපතිවරණය:
- එක්සත් ජාතික පක්ෂය (රණසිංහ ප්‍රේමදාස) - ඡන්ද 2,569,199ක් (50.43%)
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (සිරිමාවෝ බණ්ඩාරනායක) - ඡන්ද 2,289,960
1994 ජනාධිපතිවරණය:
- පොදුජන පෙරමුණ (චන්ද්‍රිකා බණ්ඩාරනායක) - ඡන්ද 4,709,205 (62.28%)
- එක්සත් ජාතික පක්ෂය (ශ්‍රීමා දිසානායක) - ඡන්ද 2,715,285
1999 ජනාධිපතිවරණය:
- පොදුජන පෙරමුණ (චන්ද්‍රිකා බණ්ඩාරනායක) - ඡන්ද 4,312,157 (51.12%)
- එක්සත් ජාතික පක්ෂය (රනිල් වික්‍රමසිංහ) - ඡන්ද 3,602,748
2005 ජනාධිපතිවරණය:
- එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 4,887,152 (50.29%)
- එක්සත් ජාතික පක්ෂය (රනිල් වික්‍රමසිංහ) - ඡන්ද 4,706,366
2010 ජනාධිපතිවරණය:
- එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 6,015,934 (57.88%)
- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ජෙනරල් සරත් ෆොන්සේකා) - ඡන්ද 4,173,185
2015 ජනාධිපතිවරණය:
- නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (මෛත්‍රීපාල සිරිසේන) - ඡන්ද 6,217,162 (51.28%)
- එක්සත් ජනතා නිදහස් සන්ධානය (මහින්ද රාජපක්ෂ) - ඡන්ද 5,768,090
කෙසේ වෙතත්, 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ, ඡන්ද 3,640,620ක් පමණි.
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ඡන්ද 5,006,837 (40.47%)
- එක්සත් ජාතික පෙරමුණ - ඡන්ද 3,640,620 (29.42%)
- එක්සත් ජනතා නිදහස් සන්ධානය - ඡන්ද 1,497,234 (12.10%)
තවදුරටත් කියවන්න.








