මුස්ලිම් පල්ලි තුළට හමුදාව සුනඛයින් ගෙන යාම: "හමුදාව ග්‍රාම නිලධාරියෙක් වගේ වැඩ කරන්නේ නැහැ"

සරත් ෆොන්සේකා

රට තුළ "භයංකර වාතාවරණයක්" ඇති වුණු අවස්ථාවක යුද්ධ හමුදා සාමාජිකයින්ගෙන් ග්‍රාම නිලධාරියෙකුගේ හැසිරීම අපේක්ෂා නොකරන ලෙස අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට දැනුම් දුන්නේය.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි විමසන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අඟහරුවාදා (ජූනි 11) පැමිණි අසාද් සාලි දැක්වූ අදහසකට ප්‍රතිචාර දක්වමිනි.

එහිදී මෙම කමිටුවේ සාමාජිකයෙකු ප්‍රශ්න කරමින් අසා සිටියේ මුස්ලිම් දේවස්ථාන පරීක්ෂා කිරීමේදී සුනඛයන් ගෙන නොයන ලෙස හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් කරනු ලැබ තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

හිටපු ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය කර තිබුණේ පසුගිය මැයි 16 වන දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි. එම ප්‍රකාශය මෙසේය.

  • "ආරක්ෂක අංශවලටත් අපි කියනවා, හැම එකේ ම සීමාවක් තියෙනවා. සීමාව පැනගෙන යන්නත් එපා. එකම පල්ලියට ගිහින් කඩනවා, කුරාණ විසි කරනවා, බූට්ස්වලින් යනවා. කරුණාකරලා ආගම කියන තැනට බල්ලාව ගෙනි යන්න එපා. බල්ලාව ගෙනිහින් චෙක් කරන්න ඕන නම් ඒක අපිට කියන්න. අපි ඒ වාතාවරණය හදලා දෙන්නම්"

කෙසේ නමුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අදහස් දක්වමින් අඟහරුවාදා (ජූනි 11) ඔහු ප්‍රකාශ කළේ, සුනඛයින් රැගෙන නොඑන්නැයි තමන් නොකී බවය.

අසාද් සාලි යුද්ධ හමුදාවට කළ චෝදනාවලට සරත් ෆොන්සේකා දුන් පිළිතුරු

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඇති වූ සංවාදය මෙසේය.

අසාද් සාලි:

"බල්ලෝ ගේන්න එපා කියලා මම නං කිව්වේ නැහැ. අපි කිව්වේ නැහැ බල්ලො ගේන්න එපා කියලා. පුළුවන් නම් සපත්තුව ගලවලා යන්න ඇතුළට, පල්ලියට, ආගම කියන තැන. ඒකත් බැරි නම් ප්‍රශ්නයක් නෑ. බල්ලො ගෙනයනවා නම් අපට කියන්න, අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. කාපට් එකක් දාලා දෙන්නම්. ඒකට උඩින් ගිහින් ඕගොල්ලො සර්ච් කරන එක කරන්න කියලා අපි කිව්වේ. ඇයි? අපිටයි බල්ලන්ටයි කිසි ම සම්බන්ධයක් නෑ. අපි බල්ලෝ ගෙවල්වල හදන්නෙත් නෑ. අපිට බල්ලො ගෑවුණා ම ආගම කියන්න බෑ."

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

හමුදාව හා පොලිසිය රාජකාරි කරනකොට ඔය ඇති වුණ වාතාවරණය, භයංකර වාතාවරණයක්. මුළු රට ම කම්පා වෙන වෙලාවක්. එහෙම තමයි හමුදාව සහ පොලිසිය රාජකාරි කරනකොට අනිවාර්යයෙන් ම ජනතාවට හිරිහැර වෙනවා. ඒක නවත්වන්න බැහැ. ඒ රාජකාරියේදී ජනතාව කැමති විදිහට නෙවේ ඒවා කරන්න වෙන්නේ. ඒක හන්දා ඒවා ගැන පැමිණිලි කරන එක මම හිතන්නේ නැහැ සාධාරණයි කියලා.

අසාද් සාලි:

පැමිණිලි කරනවා නෙවෙයි..........

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

පොඩ්ඩක් ඉන්න. මම ඉවර නෑ තව ම. හමුදා පොලිස් රාජකාරි කරන්න වුණොත් ඒ වගේ වාතාවරණයක් ඇති වුණා ම එතකොට හමුදාවලට පොලිසියට ඇඟිලි දික් කරන්න එපා. ඒ වාතාවරණය ඇති කරපු කට්ටිය තමයි ඒකට වග කියන්න ඕන.

අසාද් සාලි:

එතනදී මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හමුදාවෙන් නිහතමානීකම. එන්න පුළුවන්. සර්ච් කරන්න පුළුවන්. පයින් ගහන්නේ නැහැ කුරාණෙට. කුරාණේ විසි කරන්නේ නැහැ. ඒකට තියෙනවා ක්‍රමවේදයක්.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

මෙහෙමයි අසාද් සාලි මහත්තයා... ඔය කුරාන් එකට පයින් ගැහුව කියන එක එක සිද්ධියක් නේ. ඕක වුණා ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හමුදාව පොලිසිය නෙවෙයි. හමුදාව ගියා ම පොලිසිය වගේ නෙවෙයි ජනතාව එක්ක වැඩ කරන්නේ. හමුදාවේ ක්‍රමවේදයක් තියෙනවා. හමුදාවට උගන්වන්නේ නැහැ පොලිසිය වගේ හරි ග්‍රාම නිලධාරියෙක් වගේ වැඩ කරන්න. හමුදාව ආව ම ජනතාවට කරදර වෙනවා තමයි. ඒක ඔබ තුමා තේරුම් ගන්න ඕනෙ. හමුදාව ඇවිල්ලා ඔළුව අත ගාලා කරුණාකරලා මෙහෙම කරන්න ද? කමක් නැද්ද? මට සමාවෙන්න ඒවා නැහැ හමුදාවේ. හමුදාව ආවා ම රාජකාරිය කරලා යනවා. ඒ නිසා ඕවා අල්ලගෙන චෝදනා කරන්න ගියොත් තවත් හිත් රිදීම් ඇති වෙනවා. ප්‍රශ්නය තවත් දුරදිග යනවා. ප්‍රශ්නය සමථයකට පත් කරන්න බැරි වෙනවා.

අසාද්සාලි:

8 දෙනෙක් කරපු වැඩේට මුළු මහත් ජනතාවට ම මේ වගේ දෙයක් කරන එක වැරදියි කියන එකයි අපි කිව්වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා:

8 දෙනෙක් කළාට 250ක් මැරුණා නේ. 500කට තුවාල වුණා නේ. රටේ ඇති වුණ තත්ත්වය භයානකයි නේ 8 දෙනෙක් කළාට.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් පළ වී තිබිණි.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

facebook

ඡායාරූප මූලාශ්‍රය, facebook

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

තවදුරටත් කියවන්න:

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රටේ ආරක්ෂක වාතාවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ දීර්ඝ කතාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල ප්‍රසාදය පළ වී තිබුණි. (එම කතාව පහත දැක්වේ.)