ශ්‍රී ලංකාවේ පිපිරීම්: දැඩි ආරක්ෂාව මැද අනුස්මරණ පූජා

හලාවත ශාන්ත මරියා දේවස්ථානයේ දේව මෙහෙය
ඡායාරූප ශීර්ෂ වැකිය, හලාවත ශාන්ත මරියා දේවස්ථානයේ පැවති දේව මෙහෙය

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් දිවි අහිමිවූවන් අනුස්මරණය කරමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල විශේෂ පූජා පැවැත්විණ.

බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව විශේෂ ආරක්ෂක විධිවිධාන සලසා තිබිණ.

ගාල්ල ශාන්ත කළුවැල්ලේ මරියා ආසන දෙව්මැදුරේ පැවති විශේෂ දේවමෙහෙයට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ දකුණු පළාතේ ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ද එක්ව සිටියහ.

ආරක්ෂක විධිවිධානවලට අමතරව දේවස්ථානයේ පූජාවට සහභාගි වීමට පැමිණෙන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා කිතුනු බැතිමතුන් විසින් විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබුණු බව බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

විශේෂ ආරක්ෂක විධිවිධාන
හමුදා නිල ඇඳුමට සමාන කලිසමකින් හා යට බැනියමකින් සැරසී සිටි පුද්ගලයෙකු හලාවත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදා නිල ඇඳුමට සමාන කලිසමකින් හා යට බැනියමකින් සැරසී සිටි පුද්ගලයෙකු හලාවත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ

"දේව මෙහෙයෙන් පසු ප්‍රදේශයේ සහ දේවස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් රේමන්ඩ් වික්‍රමසිංහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ ඇතුළු පියතුමන්ලා, වජිර අබේවර්ධන අමාත්‍යවරයා, ආණ්ඩුකාරවරයා සහ පොලිස් සහ හමුදා ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ දුරකථනය ඔස්සේ රේමන්ඩ් වික්‍රමසිංහ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සමග වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක නිරතවූයේය," යනුවෙන් ද නිවේදනයේ සඳහන් වේ.

කතෝලික දිව්‍ය පූජා පැවති ප්‍රදේශවල ඇතැම් මාර්ග වසා දැමීමටද පොලිසිය හා ජනතාව පියවර ගෙන තිබුණු අතර, දේවස්ථාන වෙත පැමිණෙන බැතිමතුන්ට ජාතික හැඳුනුම් පත පත රැගෙන එම අනිවාර්ය කර තිබුණි.

ආරක්ෂක හමුදා වලට සහය වීම සඳහා දේවස්ථාන මට්ටමින් නියෝජිතයන් ද පත් කර තිබිණ.

ගමන් මලු ඇතුළු භාණ්ඩ රැගෙන දේවස්ථාන වෙත නොපැමිණෙන ලෙසට කල් තියා ජනතාව දැනුවත් කර තිබු අතර එසේ රැගෙන පැමිණි භාණ්ඩ හා ගමන් මලු දැඩි පරික්ෂාවකට ලක් කැරිණි .

හලාවත ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට හමුදා නිල ඇඳුමට සමාන කලිසමකින් හා යට බැනියමකින් සැරසී සිටි පුද්ගලයෙකු හලාවත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.