ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවේ

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව බ්‍රහස්පතින්දා (නොවැ. 29) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 123කින් සම්මත විය.
යෝජනාවට පක්ෂව ඉලෙක්ට්‍රොනික ඡන්ද මාර්ගයෙන් මන්ත්‍රීවරු 123 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ නොවීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පාර්ශ්වය බ්‍රහස්පතින්දා දින (29) පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එම පාර්ශ්වයෙන් පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සිට එම පාර්ශ්වයට මෑතකදී එක්වූ විජේදාස රාජපක්ෂ පමණි.
පාර්ලිමේන්තු බහුතරය මෙහෙයවිය හැකි කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම අවස්ථාව ලබා දිය යුතු බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය. ඒ සඳහා තමන් මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බව පැවසූ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇතිවී තිබෙන මෙම මත ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඉක්මනින් කතානායකවරයා හා ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව පැවසීය.
දැනට "ස්වාධීනව කටයුතු කරන" අතුරලියේ රතන හිමියන්ද සභාවාරයට එක්ව සිටි අතර උන්වහන්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වර්තමාන අර්බුදය විසඳා ගැනීමට ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟ විය යුතු බවය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනය කල අතුරලියේ රතන හිමියෝ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට ඇත්නම් එම පාර්ශ්වයට ආණ්ඩුව ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළහ.
මේ තොරතුරුද කියවන්න:
කෙසේ නමුත් අගමැති කාර්යාංශයේ වියදම් කපාහැරීම සම්බන්ධයෙන්වූ යෝජනාවට අතුරලියේ රතන හිමියන් සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය යෝජනාවට සහය පළකරමින් ඡන්දය භාවිතා කළ අතර, පසුගියදා එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වූ වසන්ත සේනානායක මන්ත්‍රීවරයාද යෝජනාවට සහය පළකර ජන්දය ප්‍රකාශ කර තිබිණි.
මෙම යෝජනාව සම්මත වූ වහාම "එක්සත් ජාතික පක්ෂය ද වහාම අරලිය ගහ මැදුරෙන්" ඉවත් විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහින්ද රාජපක්ෂට මෙන්ම රනිල් වික්‍රමසිංහට ද අගමැති වැය ශීර්ෂයෙන් වියදම් දැරීම තහනම් බව ඔහු පැවසීය.
මෙම යෝජනාව නීති විරෝධී යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා පැවසීය . එමගින් කිසිදු බලපෑමක් "තම ආණ්ඩුවට හෝ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට" සිදු නොවන බව ඔහු තවදුරටත් පැවසුවේය.
යෝජනාව සම්මතවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව 30 වෙනි සිකුරාදා දින උදෑසන 10.30 දක්වා කල් තබනු ලැබීය.








