අනවසර සංක්‍රමණිකයන් හාරදහසක් ආපසු ශ්‍රී ලංකාවට

කුවේටය පමණක් නොව වෙනත් මැදපෙරදිග රටවල් විසින් ද අනවසර සංක්‍රමණිකයන් ආපසු යැවීමේ පොදු සමා කාල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, කුවේටය පමණක් නොව වෙනත් මැදපෙරදිග රටවල් විසින් ද අනවසර සංක්‍රමණිකයන් ආපසු යැවීමේ පොදු සමාකාල ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි

වීසා බලපත‍් රහිතව කුවේටයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට එරටින් පිටවීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් හාරදහසකට ආසන්න ශ්‍රමිකයන් පිරිසක් යළි සියරට පැමිණ හෝ පැමිණීමට කටයුතු කරමින් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කුවේටයේ අනවසරයෙන් රැඳී සිටි සිය රටවැසියන්ට ආපසු යාම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික විදේශ ගමන් බලපත් 5795 ක් පමණ නිකුත් කරනු ලැබ ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සබඳතා භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

හාරදහසකට ආසන්න දේශීය ශ්‍රමිකයන් ආපසු පැමිණීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, කුවේටයෙන් පිටවීමට අදහස් කරන හත්සීයත් - අටසීයත් අතර සංඛ්‍යාවකින් යුත් තවත් අනවසර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කණ්ඩායමක් අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කර ගනු ලැබීමෙන් අනතුරුව ආපසු පැමිණීමට සූදානමින් සිටින බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා පවසයි.

බොහෝ ශ්‍රමිකයන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත්වල දුර්වලතා හේතුවෙනි

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ ශ්‍රමිකයන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත්වල දුර්වලතා හේතුවෙනි

විදේශගත ඇතැම් ශ්‍රමිකයන් මුහුණ දෙන විවිධ නෛතික හේතූන් මත එරටින් බැහැර වීමේ දුෂ්කරතා හේතුවෙන් ඔවුන්ගෙන් ඇතැමෙකුගේ ආපසු පැමිණීම ප්‍රමාද විය හැකි බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

කුවේට් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පොදු සමා කාලය පෙබරවාරි මස 22 දින අවසන් වෙන අතර ඊට පෙර අනවසර ශ්‍රමිකයන් එරටින් බැහැර විය යුතුව ඇත.

කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබ ඇති එම පොදු සමා කාලය ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 29 වෙනි දින පටන්ය.

15,447 කට ආසන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් නියමිත වීසා බලපත් නොමැතිව නීති විරෝධී මට්ටමින් කුවේටයේ රැඳී සිටින බව අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල ප්‍රකාශ කර තිබුණි.

වීසා නොමැතිව අනවසරයෙන් කුවේටයේ වෙසෙන විදේශිකයින්ට එකී පොදු සමා කාලය තුළ දඩ මුදල් ගෙවීමකින් තොරව සහ අදාළ ආයතනවල අවසරයකින් තොරව එරටින් පිටවිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද ජනවාරි නිවේදනයක දැක්වුණි.

2017 ජූලි මාසයේ කුවේටයෙන් ආපසු පැමිණි කාන්තාවන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, SLBFE

ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 ජූලි මාසයේ කුවේටයෙන් ආපසු පැමිණි කාන්තාවන් පිරිසක්

එසේම එසේ පිටව යන පුද්ගලයන්ට වෙනත් නෛතික තහංචි නැත්නම් නීත්‍යානුකූල මට්ටමින් අනාගතයේ යළිත් කුවේටයට පැමිණීමේ බාධාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීති වි‍රෝධී අයුරින් එරට රැඳී සිටි ලාංකිකයන් 120 දෙනකු 2017 මැයි මාසයේ ආපසු ගෙන්වා ගනු ලැබුණි.

ඔවුන් සිය සේවා ගිවිසුම් කාලය ඉක්මවා නීති විරෝධී අයුරින් රැඳී සිටිමින් විවිධ රැකියාවල නිරතවූවෝ වූහ.

අනවසර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පෙබරවාරි 22 ට පෙර කුවේටයෙන් ඉවත්ව ආපසු යායුතුව ඇති නමුත්, පුරුදු පරිදි එරටට ශ්‍රමිකයන් යවනු ලැබීම අඛණ්ඩව සිදු කෙරෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සබඳතා භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්;