මැතිවරණයේදී කාන්තා හිංසනයට, ජාති - ආගම් භේදවලට දැඩි පියවර - මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණ සමය තුළදී ප්‍රචාරක පෝස්ටර් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව කියන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එම පෝස්ටර් ඉරා දමනු වෙනුවට "නීති විරෝධී" බව හැඟවෙන දැන්වීම් ඇලවීමට පියවර ගන්නා බව පවසයි.

ඒ අනුව අදාළ පෝස්ටර් මත "නීති විරෝධී" යැයි දැක්වෙන තීරුවක් ඇලවෙනු ඇත.

එවිට ජනතාව ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇතිකරගනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති සඳහන් කළේය.

අද (දෙසැම්බර් 18) මැතිවරණ කොමිසම විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ එම කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ, මැතිවරණ සමය තුළදී ජනතාව වෙත භාණ්ඩ බෙදා හැරීම වැළක්වීමට ද පියවර නොගන්නා බවය.

ඒ අනුව ඔහු කියා සිටියේ "රජය භාණ්ඩ බෙදීම වළක්වන්නේ නැහැ. වසරේ ඉතිරි ප්‍රතිපාදනවලින් එම භාණ්ඩ බෙදා දෙන බව රජය පැවසුවත්, එවැනි අවස්ථාවලට මැතිවරණ අපේක්ෂකයින් සම්බන්ධ කරගන්නට බැහැ" යනුවෙනි.

එවැනි ස්ථානවල, එය ජනතාවගේ මුදලින් ක්‍රියාත්මකවන වැඩපිළිවෙලක් බව හා ඡන්දය ප්‍රකාශ කිරීමට බැඳීමක් ලෙස නොසැලකිය යුතුය යන පණිවිඩය සහිත විශාල බැනර ප්‍රදර්ශනයට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

එවැනි රාජ්‍ය උත්සව සඳහා ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ආරාධනය කළ යුතු අතර එහි දේශපාලන කතා ඇතුළත් නොවිය යුතු බව ද කියා සිටි ඔහු එවැනි කතා සිදුවුයේ නම් ඒවා පළකිරීමෙන් වළකින ලෙස මාධ්‍යයෙන් ඉල්ලීමක් ද කළේය.

සමාන තොරතුරු :

පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළට

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළට

සභාපතිවරයා අවධාරණය කළේ, "රාජ්‍ය උත්සවවලදී දේශපාලන කතා එපා යැයි සියලුම දේශපාලන පක්ෂවලටත්, දේශපාලනඥයින්ටත් දන්වා තිබෙනවා. එවැනි උත්සවවලදී අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන්නට බැහැ. එවැනි ප්‍රවර්ධන වැඩපිළිවෙල ගැන පැමිණිලි ලැබුනොත් එම උත්සව සංවිධාන කරන නිලධාරීන් වගකීම භාරගත යුතුයි." යනුවෙනි.

මේ අතර, "වෛරී භාෂාව" යොදාගන්නා, ජාති, ආගම් හා ප්‍රදේශ ආදී භේද ඇතිවන අයුරින් ක්‍රියා කරන අපේක්ෂකයින්ට මෙන්ම සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මෙවර කාන්තාවන් වැඩි පිරිසක් මැතිවරණයට ඉදිරිපත්වන බැවින් කාන්තා හිංසනයට අදාළ ක්‍රියා සම්බන්ධයෙන් ද දැඩි පියවර ගන්නා බවත් ඒ සඳහා ඉන්දීය මැතිවරණ කොමිසමේ ඇතැම් පියවරවල ආභාසය ලබාගන්නා බවත් ඔහු සඳහන් කළේය.

IPU

ඡායාරූප මූලාශ්‍රය, IPU

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

මෙවර පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වෙනිදා පැවැත්වේ. ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ මස (දෙසැම්බර්) 26 නිකුත්වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

නාමයෝජනා ප්‍රතික්ෂේප වීම

නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් සම්බන්ධයෙන් අදහස් පළකළ සභාපතිවරයා, "අවසන් මොහොතේ නාම යෝජනා පත්‍ර භාර දීමෙන්" වැරදි නිවැරදි කරගැනීමට ඇති අවස්ථා අඩුවන බව පෙන්වා දුන්නේය. ප්‍රතික්ෂේප වූ නාමයෝජනා රැසකට හේතුවුයේ සුලු තාක්ෂණික කරුණු බව කී සභාපති මහින්ද දේශප්‍රිය කිසිවකුගේ හෝ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම කැමැත්තකින් නොකරන බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර නිවැරදි බවත්, අවශ්‍ය අවස්ථාවලදී අධිකරණය හමුවේ වුව ද කරුණු දක්වන බවත් ඔහු කීය.

නව ක්‍රමයකට මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බැවින් යම් අඩු පාඩු සිදුවිය හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.