විසඳුමක් සොයා නොගත්තොත් දෙමළ ජනතාව තවදුරටත් රට හැර යාවි - සම්බන්ධන්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කලාපය භාර රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ් සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර හමුවක් බ්‍රහස්පතින්දා (ඔක් 05) පැවැත්විණි.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා දෙමළ ජාතික සන්ධානය සැබෑ වශයෙන් සහභාගී වූ බව වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ් හමුවේ කියා සිටි බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, රටේ බහුවිධතාව පිළිගැනීම සඳහා 1957 පසු අවස්ථා ගණනාවක දී උත්සාහයන් දියත් වුව ද අවාසනාවකට එවැනි එකඳු උත්සහයක් හෝ සැබෑ නොවූ බව වැඩිදුරටත් පැවසුවේ යයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රටේ පුරවැසියන් වශයෙන් ජනතා පරමාධිපත්‍යයේ මූලධර්ම මත පදනම් වූ සමාජීය, සංස්කෘතික, ආර්ථික සහ දේශපාලන යන කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනතාවට බලය ලැබෙන එකඟතාවකට පැමිණීම සිය බලාපොරොත්තුව බවත් විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබේ.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර යන පළාත් දෙක දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවන් විශාල වශයෙන් නියෝජනය කරන බැවින් එම පළාත් දෙක ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද එක්සත් රාජධානියේ ආසියානු සහ ශාන්තිකර කලාපය භාර රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ් ඉදිරියේ විපක්ෂ නායකවරයා පෙන්වා දුන් බව ඉහත කී නිවේදනයේ දැක්වේ.

'බෙදුම්වාදයට ඉඩක් නැහැ'

බෙදුම්වාදය දෙසට යන කුමන හෝ ගමනක් වැළැක්වීම සඳහා ව්‍යවස්ථාව තුළින්ම ඉඩ ලබා දෙනු ඇති බැවින් උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් බහුතර සිංහල ප්‍රජාව බිය විය යුතු නැති බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් පවසා තිබේ.

එක්සත්, නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා හැරීමේ එකඟතාවකට පැමිණිය හැකි බව කී විපක්ෂ නායකවරයා එසේ කිරීමට අපොහොසත් වුවහොත් නැවතත් ප්‍රචණ්ඩත්වය දෙසට නැඹුරු විය හැකි බව පැවසුවේ යයි ඉහත කී නිවේදනයේ දැක්වේ.

ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක පිළිබඳ අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා "ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවගෙන් සියයට පනහක් ජීවත් වන්නේ රටෙන් බැහැරව. මේ සඳහා දිගු කාලීන විසඳුමක් සොයා ගත්තේ නැති නම් තවත් දෙමළ ප්‍රජාව රට අතහැර යාවි" යනුවෙන් අනතුරු අඟවා සිටි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

රට හමුවේ එළඹ ඇති වැදගත් මොහොතේ ධනාත්මක අවසානයක් කරා යාමට එක්සත් රාජධානියේ උපරිම සහාය ලබා දිය යුතු බවත් ආසියානු සහ ශාන්තිකර කලාපය භාර රාජ්‍ය අමාත්‍ය මාක් ෆීල්ඩ් ඉදිරියේ විපක්ෂ නායකවරයා පවසා තිබේ.