ගීතා ගැන කථානායකට ලිපියක්

ගීතා කුමාරසිංහ

ඡායාරූප මූලාශ්‍රය, SriLankaMirro

ඡායාරූප ශීර්ෂ වැකිය, අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ පවසයි

ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කර ඇති බැවින් ඇය වෙත තීරුබදු සහනය යටතේ නිකුත් කරන ලද වාහනය සඳහා අදාළ බදු මුදල් වහා අය කර ගැනීමට කටයුතු කරන මෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේ ද පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව අභියාචනාධිකරණය ඊයේ (මැයි 03) තීන්දු කළේය.

ඇය වෙත රජයෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති බව කියා සිටින කැෆේ සංවිධානය ඒ සඳහා රජයට අය විය යුතු බදු මුදල් සහ අධි භාරය අයකර ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

මූල්‍ය වරප්‍රසාද

line

මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම වෙනුවෙන් මෙතෙක් රජය විසින් වැය කරන ලද මුදල් ඇයගෙන් අයකර ගැනීමට කටයුතු කරන මෙන් අධිකරණය ඊයේ නීත්පතිවරයාට නියෝග කළේය.

ඒ අනුව මන්ත්‍රීවරියගෙන් අයකරගනු ලබන්නේ ඇයට ගෙවූ දීමනා පමණක්ද, නොඑසේනම් තීරු බදු රහිත වාහන දීමනා ඇතුළු මෙතෙක් ඇයට හිමි වූ සියලු මූල්‍ය වරප්‍රසාද ඊට ඇතුලත් වන්නේ ද යන්න පැහැදිලි නොමැත.

line
line

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.

කෙසේ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ගීතා කුමාරසිංහ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.