කාලි මෑණියන්ගේ රූපයක් නිසා කේටි පෙරීට විරෝධය

කේටි පෙරීට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පොප් ගායිකා කේටි පෙරී

තමන් කෝපයට පත්ව සිටින බව පෙන්නුම් කිරීම සඳහා පොප් ගායිකා කේටි පෙරී විසින් කාලි මෑණියන්ගේ රූපයක් අන්තර්ජාලයේ පළ කරනු ලැබීම සම්බන්ධයෙන් සයිබර් අවකාශයේ සැරිසරන ඉන්දියානුවෝ කෝපයට පත්ව සිටිති.

හින්දු දේව විශ්වාසයන්ට අනුව කාලි මෑණියන් සළකනු ලබන්නේ විනාශයට අධිපති දෙවඟන ලෙසය.

දිනකට පෙර කේටි පෙරීගේ Instagram පිටුවේ පළ කරන ලද එම ඡායාරූපය සඳහා එකොළොස් දහසකට අධික පිරිසක් අදහස් (comments ) පළ කොට තිබේ.

බොහෝ අදහස් පළ කොට ඇත්තේ නින්දා සහගත ලෙසිනි.

අදාළ ඡායාරූපය ඉවත් කරන ලෙස ඇතැම් අය ඉල්ලා සිටි අතර පොප් ගායිකා කේටි පෙරී ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

පළමු අවස්ථාව නොවේ

කේටි පෙරී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉන්දියානුවන්ට සංවේදීවන කරුණු අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක් වූ පළමු ජාත්‍යන්තර තාරකාව ඇය නොවේ.

ටෙනිස් තරුවක්වන මරියා ෂරපෝවා හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචීන් ටෙන්ඩුල්කාර් කවුරුන්දැයි යන්න නොදැන සිටීම සම්බන්ධයෙන් මීට පෙර ඉන්දියානුවන්ගේ කෝපය පළ විය.

line
line

එසේම හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් විසින් බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි සිප ගනු ලැබීමට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද ලැබිණි.

ඉන්දීය ජාතික ධජයෙන් සරසන ලද පාපිසි අලෙවි කිරීම සම්බන්ධයෙන් මෑතකදී Amazon අන්තර්ජාල අලෙවි සමාගමට එරෙහිව කෝපය පළ විය.

ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස එම සමාගමට බල කෙරිණි.