නීතිවේදීන්ගේ සංගමයේ නිලවරණය කල් යයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ඡායාරූප මූලාශ්‍රය, BASL

විනිසුරුවරුන්ගේ සංගමය වර්ජනය කිරීම හේතුවෙන් හෙට දින පැවැත්වීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබේ.

තම සංගමයේ නිලවරණයේදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරන්නේ ඒ ඒ අධිකරණවල විනිසුරුවරුන් බව, මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නීතිඥ සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය කියා සිටියේය.

එහෙත් නීතිඥ රාමනාදන් කන්නන් යාපනය මහාධිකරණ විනිසුරුවරයා ලෙස පත්කිරීමට විරෝධය පළකිරීමක් ලෙස හෙට දින නිලවරණයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය දන්වා ඇතැයි ද නීතිවේදී අමල් රන්දෙනිය පැවසීය.

Grey line
Grey line

රාමනාදන් කන්නන් නීතිවේදියා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉල්ලීමක් අනුව බව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ඡායාරූප මූලාශ්‍රය, BASL

කෙසේ නමුත් තමන් දැනුවත්ව එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බව සංගමයේ ලේකම් නීතිවේදී අමල් රන්දෙනිය පවසයි.

"ඇත්තටම මා හෝ අපේ විධායක කමිටුව දැනගෙන හිටියේ නැහැ මෙවැනි ලිපියක් ගිය බවට. ඇත්තටම මේ ගැන අපි දැනගන්නෙත් අධිකරණ නිලධාරීන්ගේ සංගමය අපිව දැනුවත් කලාට පසුවයි," ඔහු පැවසීය.

සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තම සංගමය අධ්‍යයනය කරමින් සිටින බවත් ලේකම්වරයා පැවසීය.

"පසුව දැනගත්තා සංගමයේ මඩකලපුව ශාඛාවේ ඉල්ලීම මත සභාපතිවරයා මෙම නිර්දේශය කළ බව."

සංගමයේ ලේකම්වරයා එල්ලකරන මේ චෝදනා පිළිබඳව විමසීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජෙෆ්රි අලගරත්නම් ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

රාමනාදන් කන්නන් විනිසුරුවරයාගේ පත්වීම අවලංගුකිරීම සඳහා නීතිඥ සංගමයට කිසිවක් කළ නොහැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.