“ණය වූ රටක් භාරගත්තේ ඇයි ?”

ආණ්ඩුව හොරකමින් ලබාගත් මුදල් වලින් ඉපැයූ සියලු දේපළ තම ආණ්ඩුවක් යටතේ යළි ජනතාව අතට පත්කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය.

"පෙරළියක ඇරඹුම" මැයෙන් නුගේගොඩ නගරයේ අද (ජන. 27) පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලිය ඇමතු ඔහු, මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව රටේ සිදුවූ 'මහා මංකොල්ලය' ලෙස පෙන්වා දුනි.

"අපේ රජය පිහිටුවපු දාට, ඒ සියලු හොරකම්වලින් ගත්තු සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි ජනතාව සන්තක කරනවා, ජනතාව අතට පත්කරනවා" යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය හඳුන්වාදී තිබුනේ රට බෙදන ව්‍යවස්‌ථාවට, මැතිවරණ කල් දැමීමට, ජීවන වියදම ඉහළ යැමට, රාජ්‍ය ආයතන විකිණීමට හා ආණ්ඩුවේ හොරකමට එරෙහි විරෝධතා රැළියක් ලෙසිනි.

තම ආණ්ඩුව රට ණය කළ බවට වත්මන් ආණ්ඩුව නගන චෝදනා බැහැර කළ හිටපු ජනාධිපතිවරයා එළෙස ණය වී ඇත්නම් රට භාරගත්තේ මන්දැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙන්ම හිටපු අමාත්‍යවරයකුවන 'කරුණා අම්මාන්' හෙවත් විනායගමුර්ති මුරලිදරන් ද රැළිය ඇමතුහ.

එසේම, රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ පටිගත කරන ලද කතාවක් ද රැළියේදී විකාශනය කෙරුණු අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් ද එහි විය.