ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොටි, කොටින්ගේ බිම් ආක්‍රමණය කරති
හිම කොටි සහ සාමාන්‍ය කොටි එකම කලාපයක විසීම පිළිබඳව පළමුවරට සාක්ෂි හමුවී ඇත.
කොටි වර්ග දෙකට අයත් සතුන් දෙදෙනෙකු චීනයේ කින්හායි ප්‍රාන්තයේ ස්ථානයක සැරිසරන ආකාරය වීඩියෝ දර්ශනවල පටිගත වී තිබේ.
එහෙත් එම තත්වය හිම කොටින්ට සුබ ලකුණක් නොවන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
එවැනි තත්වයක් යටතේ, වඳවී යෑමේ තර්ජනයට මුහුණදී සිටින හිම කොටි ආරක්ෂා කරගැනීම පිළිබඳ එම සත්ව විශේෂය වෙසෙන රටවල බලධාරීහු සාකච්ඡා පවත්වමින් සිටිති.
මිහිතලයේ උණුසුම දිනෙන් දින ඉහළ යමින් තිබියදී සාමාන්‍ය කොටි හිම කොටි වෙසෙන ප්‍රදේශවලට සංක්‍රමණය වීම හිම කොටින්ගේ සුපුරුදු වාසස්ථාන අහිමිවීම පිළිබඳ අසුභ ලකුණක් බව බලධාරීහු පවසති.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බීබීසී ලෝක සේවයේ පරිසර කටයුතු පිළිබඳ වාර්තාකරු නවීන් සිං කඩ්කා කියා සිටියේ සාමාන්‍ය කොටි පහත් බිම්වල දිවි ගෙවන අතර හිම කොටි සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර 3000 කට ඉහළින් පිහිටි භූමි ප්‍රදේශවල වාසය කරන බවය.
උස් බිම්
"සාමාන්‍ය කොටි, හිම කොටි වෙසෙන ප්‍රදේශවල දකින්න ලැබෙනවයි කියන්නේ සාමාන්‍ය කොටි, හිම කොටින්ගේ වාසභූමි ආක්‍රමණය කරනවයි කියන එක. ඒ නිසා හිම කොටි වෙසෙන ප්‍රදේශ එන්න එන්නම කුඩා වෙනවා. හිම කොටි කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණදී ඉන්න සත්ව කොට්ඨාසයක් නිසා ඒක බොහොම බරපතල තත්වයක්" යනුවෙන් නවීන් සිං කඩ්කා සඳහන් කළේය.
ඔහු පෙන්වාදෙන පරිදි එකම ප්‍රදේශයක ආහාර ලබාගැනීම සඳහා කොටි වර්ග දෙකක් අතර ඇතිවන ගැටුමේ අවසාන ප්‍රතිඵලයත් හිම කොටින්ට හිතකර නැහැ.
දඩයම් සඳහා ඇතිවෙන තරගයෙන් සාමාන්‍ය කොටි ජයග්‍රහණය කරනු ඇතැයි විද්‍යාඥයන් බිය පළ කරන බව කී ඔහු "මොකද ඔවුන් වඩා ශක්තිමත්. ඒ වගේම හැඩගැසීමේ හැකියාවත් වැඩියි. මේක කොහෙත්ම හිම කොටින්ට හොඳ ලකුණක් නොවෙයි," යනුවෙන් ද සඳහන් කළේය.
වඳවීමේ තර්ජනයට මුහුණපා සිටින හිම කොටි 3500 ත් 7000 ත් අතර ප්‍රමාණයක් මිහිමත වෙසෙන බව විශ්වාස කෙරේ.
සමුළුවක්
"රටවල් 12 ක් තුළ හිම කොටි වෙසෙනවා. ඒ අතරින් පහක් මධ්‍යම ආසියාවේ රටවල්. සෙසු රටවල් හත හිමාල කලාපය ආශ්‍රිතව පිහිටි රටවල්. මොන්ගෝලියාව, නේපාලය, භූතානය, ඉන්දියාව, සහ ඇතැම් විට මියන්මාරයේ පවා ඔවුන් දැකිය හැකියි," බීබීසී වාර්තාකරු නවීන් සිංග් කඩ්කා පැවසීය.
හිම කොටි වෙසෙන රටවල් 12 ක සහභාගීත්වයෙන් පසුගිය ජනවාරි 17 වැනිදා නේපාලයේදී සමුළුවක් පැවැත්විණි.
එහිදී හිම කොටින්ගේ වාසභූමි අහිමිවීමේ ගැටලුව පිළිබඳවත් සාකච්ඡාවට ගැනුණු අතර එවැනිම තවත් සමුළුවක් මේ වසර අහභාගයේදී කිර්ගිස්තානයේ පැවැත්වීමට නියමිතය.