වීරවංශ හිතවතුන්ට සහ ඥාතීන්ට රජයේ වාහන දීලා -අජිත්

"මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ද එලෙස වාහන ලබාදී ඇති බවට හෙළිවී තිබෙනවා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ද එලෙස වාහන ලබාදී ඇති බවට හෙළිවී තිබෙනවා"

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දී සිය ඥාතීන් සහ හිතවතුන්ට රජයෙන් වාහන ලබාදීම නිසා රජයට රුපියල් ලක්ෂ 916ක් පාඩු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා පවසයි.

අද (ජන. 11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිදු 'දේශපාලනයක්' නොමැති බවයි.

හිතවතුන්ට වාහන බෙදාහැරීම සඳහා කිසිදු අමාත්‍යවරයෙකුට නීතියෙන් ඉඩක් නොමැති බව අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"වාහන 40ක්"

විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා

ඔහු තවදුරටත් කියා සිටියේ පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරනු ලැබූ කරුණු අනුව, විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා වාහන 40ක් හිතවතුන්ට ලබාදී ඇති බවය.

මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුට ද එලෙස වාහන ලබාදී ඇති බවට හෙළිවී ඇති බව අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ නමුත් ඔවුන්ගේ නම් හෙළිකිරීම ප්‍රතික්‍ෂේප කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අමාත්‍යධුරය දරන සමයේ ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධුරය දැරූ වත්මන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගැනීම ගැන විපක්ෂය නැගූ චෝදනාවට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඔහු සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධිය තුළ නීතිවිරෝධී ලෙස වාහන ලබාදීම් සිදු කර නොමැති බවය.