"ඡන්ද මිලදී ගැනීම අවසන් කරමු"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ අපේක්ෂකයන් විසින් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැතිකම මහජන ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීමට හේතු වී ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
එම තත්වය අවසන් කොට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමේ උත්සාහයක් වශයෙන් අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීති සම්පාදනය කිරීම සඳහා පියවර ගනිමින් ඇති අතර ඊට අදාළ මූලික කෙටුම්පතක පළමු අදියර නීතිවේදීන්ගේ උපදෙස් ලබා ගනිමින් දැනටමත් සකස් කොට අවසන් බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේය.
සියලු මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂවල ද උපදෙස් මෙම කාර්ය සඳහා ලබා ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මැතිවරණ ප්‍රචාරණය සඳහා අපේක්ෂකයකුට හෝ පක්ෂයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් නොමැති බැවින් මූල්‍ය ශක්තිය වැඩි අපේක්ෂකයන්ට වාසිදායක තත්වයක් හිමිවන බව ඔහු පේනවා දෙයි.
"සියලු අපේක්ෂකයන්ට සාධාරණ පදනමක් මත තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යා හැකි නම් පමණයි මැතිවරණයෙන් සාධාරණ ලෙස මහජන නියෝජිතයන් තේරීපත් වෙන්නේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ සමහර අපේක්ෂකයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා තමන් ලක්ෂ අටසීය, දාහ මැතිවරණය සඳහා වියදම් කළ බව. ඒ වගේම අඩුවෙන්ම වියදම් කළ පළාත් සභා අපේක්ෂකයෙක් ප්‍රකාශ කළා ලක්ෂ අනූ අටක් ඔහු වියදම් කළ බව," පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
අසල්වැසි ඉන්දියාව සහ බංගලාදේශය වැනි රටවල ද මැතිවරණය ප්‍රචාරණය සඳහා වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පවතින බවත් ඔහු පෙන්වා දුණි.
"උදාහරණයක් වශයෙන් බංගලාදේශයේ ඒ ඒ ඡන්ද කොට්ඨාශය තුළ සිටින ඡන්ද දායකයන් ප්‍රමාණයට අනුපාතිකව අපේක්ෂකයන්ට කළ හැකි වියදම්වලට සීමා පනවා තිබෙනවා,"
එසේම ඇතැම් අපේක්ෂකයන් මැතිවරණ සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කළත් එම මුදල් තමන් වෙත ලැබුණු ආකාරය සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් නොකරන බවත් ඔහු පැවසීය.
"මේ පනත් කෙටුම්පත සම්මත කොට නීතියක් බවට පත් කිරීමට ව්‍යවස්ථාදායකය ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔවුන් එසේ ක්‍රියා නොකරන්නේ නම් ඒ සඳහා ගත හැකි සිවිල් සමාජ පෙලඹීම සහ බලපෑම කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා," පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.








