එක්සත් ජනපදයේ 'විශාල බෙදීමක්'

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණයකර බලන විට 'රටේ ඇතිවී තිබෙන විශාල බෙදීම' හොඳින් පැහැදිලිවන බව එහි වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් පවසයි.
වොෂිංටනයේ 'තුලේන්' සරසවියේ තුලනාත්මක ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෑම් සමරසිංහ මේ බව කියා සිටියේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
"බෙදීම වෙලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඇත්තම කියනවනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය දීල තියෙන්නේ විශාල සුදු ජාතික බහුතරයක්. සුළු ජාතිකයින් ඉතා විශාල අනුපාතයක් ඡන්දය දීල තියෙන්නේ ක්ලින්ටන් මැතිනියට. එතකොට මෙතන වෙලා තියෙන්නේ සුදු ජාතික බහුතරයක් අද පවතින ක්‍රමය පිළිබඳව කිපිලා, ඒ කිපීමට දුන්න ප්‍රතිචාරය තමයි මේ ඡන්ද ප්‍රතිඵලය." මහාචාර්යවරයා පැවසීය.
නීති රීති බිඳ දැමූ අපේක්ෂකයා
එක්සත් ජනපද ඉතිහාසයේ ජනාධිපති ධුරයට මෙතෙක් තරග කළ අපේක්ෂකයන් හා සසඳා බලන කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ සම්ප්‍රදාය සහ නීති රීති බිඳ දැමූ අපේක්ෂකයා බව මහාචාර්ය සෑම් සමරසිංහ ප්‍රකාශ කළේ, "ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා අතීතයේ තරගකරුවන් අනුගමනය කළ නීති රීතිවලින් සියයට අනූනමයක්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කඩ කළා. එකක් තමයි, සාමාන්‍යයෙන් වෙනින් කාලයක අනිවාර්යයෙන්ම තරගකරුවෙක් ක්‍ෂණයකින් නුසුදුස්සෙක් බවට පත්වෙන ප්‍රකාශන කළා. ඊළඟට හැසිරීම ගත්තත් ඒ විදිහයි. කාන්තාවන් විෂයෙහි ඔහුගේ අතීත හැසිරීම පිළිබඳව කරුණු ගත්තත් ඒ විදිහයි." යන පැහැදිළිකිරීම සමගිනි.

"ඒ විතරක් නෙමෙයි ඡන්ද සංවිධානය ගත්තත්, සාමාන්‍යයෙන් මේ රටේ විශ්වාසය තියෙන්නේ අතිශය ලෙස මැනවින් සංවිධානය වුණු පක්ෂ සංවිධානයක් තියෙන්න ඕන කියල, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ඡන්ද එකතුකර ගන්න. ට්‍රම්ප්ට ඒවා මුකුත් තිබුණේ නැහැ. ඔහු ඡන්දය කළේ ටෙලිවිෂන් එකෙන්, සමාජ මාධ්‍ය මාර්ගයෙන්." මහාචාර්ය සමරසිංහ පවසයි.
ආකර්ශණීය පොරොන්දු
මැතිවරණ වේදිකාවේ දුන් ආකර්ශණීය පොරොන්දු පසෙක ලා ලෝක සම්මතයට අනුව රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදුකිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුවනු ඇති බව මහාචාර්ය සෑම් සමරසිංහගේ විශ්වාසය වේ.
"ඇමරිකානු ජනාධිපතිට ලෝකයේ කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. තමන්ට ඕන විදියට වැඩ කරන්න බැහැනේ. උදාහරණයක් හැටියට ට්‍රම්ප් කිව්වා මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩවලට සියයට හතළිස් පහක තීරු බද්දක් පනවනවා කියල. චීනයෙන් ආනයනය කරන භාණ්ඩවලට සියයට තිහක තීරු බද්දක් පනවනවා කිව්වා. මැතිවරණ වේදිකාවල එහෙම කිව්වට ඒවා ලෝකේ ක්‍රියාත්මක කරන්න බැහැනේ." ඔහු කියා සිටියේය.




