බිම් බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් 'පවුම් ලක්ෂ දොළහක්'

බිම් බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් 'පවුම් ලක්ෂ දොළහක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S.KODIKARA

යුද සමයේ උතුරේ වල දැමූ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් ලක්ෂ දොළහක මූල්‍යාධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඒන්ලි බැරන්වරිය තහවුරු කරයි.

එක්සත් ජාතීන් සහ පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කරන නියෝජ්‍ය ඇමතිනි ඒන්ලි බැරන්වරිය අද (නොවැම්බර් 07) යාපනයේ සංචාරයක නිරත විය.

ඉදිරි වසර තුන දක්වා කාලය තුළ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අදාළ අරමුදල් ලබා දෙන බව ඇය එහිදී කියා සිටියාය.

එම ආධාර මුදල පසුගිය වසරේ මොල්ටාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලද පවුම් ලක්ෂ හැටහයක අරමුදලෙන් එක් කොටසකි.

බිම් බෝම්බ ඉවත් කිරීමට බ්‍රිතාන්‍යයෙන් 'පවුම් ලක්ෂ දොළහක්'

ඡායාරූප මූලාශ්‍රය, British High Commission

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනයේ සංචාරයක නිරත වූ ඒන්ලි බැරන්වරිය

යුද්ධය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළට සහන සලසනු වස් බිම් බෝම්බ ඉවත් කිරීමේ බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් වන 'HALO Trust'සංවිධානය වෙත එම අරමුදල් ලබා දෙන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අදාළ ව්‍යාපෘතිය තුළින් උතුරේ වැසියන් හතළිස් දහසකගේ පමණ ජීවන තත්වය නගා සිටුවීම සිය බලාපොරොත්තුව බව'HALO Trust'සංවිධානය පවසයි.

යාපනයේ සංචාරය අතරතුර'HALO Trust' සංවිධානයේ වැඩකටයුතු නිරීක්ෂණය කළ ඒන්ලි බැරන්වරිය උන්හිටිතැන් අහිමි වී නැවත සිය මුල් ඉඩම් වෙත පැමිණි පවුල් හමු වූ බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.