ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීති පියවර ගන්න - කෝප් වාර්තාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට එහි හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගතයුතු බව කෝප් කමිටුව නිර්දේශ කරයි.
කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළේ අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් කමිටුව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව අද (ඔක්. 28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.
සිය වාර්තාවෙහි නිගමන 15ක් ඇතුළත්වන බව කී සභාපතිවරයා පෙන්වා දුන්නේ, අදාළ ගනුදෙනුව හරහා මහ බැංකුව විශ්වාසය කඩකර ඇති බවය. මේ අනුව, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් දණ්ඩනයකට යටත්කිරීම සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හා සිදුවූ අලාභය අය කරගැනීමට පියවර ගැනීම උචිත බව වාර්තාවෙන් නිර්දේශකර ඇත.
වැඩිදුරටත් කතාකරමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති පෙන්වා දුන්නේ, මෙය තනි වාර්තාවක් ලෙස ඉදිරිපත්වුව ද, එහි බෙදීමක් ඇති බවය.
පාදක සටහන් සහිත වාර්තාව සඳහා 9 දෙනෙකු පක්ෂ වී ඇති අතර එසේ පක්ෂවූවෝ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු වූහ.
පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය
පාදක සටහන් රහිත වාර්තාව සඳහා 16 දෙනෙකු පක්ෂ වී ඇති අතර ඊට කෝප් කමිටු සභාපතිවරයා මෙන් ම අමාත්‍ය රවුෆ් හකීම් ද අයත් වූහ.
මේ අනුව අදහස් දෙකක් මෙයින් පෙනෙන්නට ඇති බව පෙන්වා දෙමින් එම බෙදීම පිළිබඳව සාකච්ඡා කිරීමට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා උත්සාහ දැරුව ද එයට එකඟ නොවූ හකීම් අමාත්‍යවරයා, කමිටුව තුළ වූ සිදුවීම් සාකච්ඡා කිරීම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය නොවන බව පෙන්වා දුණි.
කෙසේ වුව ද, කෝප් වාර්තාව මෙසේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (ඔක්.27) පාර්ලිමේන්තුව අමතමින් දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රටින් පිටව ගොස් ඇති බව ය.
අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව මන්ත්‍රී වීරකුමාර දිසානායක අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා, විවාහ මංගල්‍යයකට සහභාගිවීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති පෙන්වා දුණි.