කෝප් වාර්තාව පාර්ලිමේන්තු ජයග්‍රහණයක් - අගමැති

වීඩියෝ ශීර්ෂ වැකිය, කෝප් වාර්තාව පාර්ලිමේන්තු ජයග්‍රහණයක් - අගමැති

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීම දක්වා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඇති යහපාලන රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

වාර්තාව සැකසීම සඳහා ක්‍රියා කළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා මෙන් ම එහි සාමාජිකයින්ට ස්තුතිය පළ කළ අගමැතිවරයා, මත කිහිපයක් පැවතීම ගැටලුවක් නොබව බව පෙන්වා දුණි.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අරගල කළ තම පාර්ශ්වය අද මෙම වාර්තාව ඉදිරිපත්වීම හරහා ජයග්‍රහණයකර ඇති බව කියා සිටියේය.

විපක්ෂයෙන් එල්ලවූ බාධාකිරීම් මැද කතා කළ අග්‍රාමාත්‍යවරයා, කාරක සභා ක්‍රමය (Oversight Committee) ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් වසර 10 ක් පුරා සටන් කළ ද එය මීට පෙර ප්‍රතික්ෂේප කෙරුණු බව පෙන්වා දුණි.

කෝප් වාර්තාව අද ඉදිරිපත් කෙරුණේ තමන් යටතේ ඇති ආයතනයකට බව ද කී අගමැතිවරයා, එය ගැටලුවක් නොවන බවත් පාර්ලිමේන්තුවේ විවාදකොට, නීතිපතිවරයාගේ ද උපදෙස් සහිතව ඉදිරි පියවර ගතහැකි බව සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙල හරහා පාර්ලිමේන්තුව ජයග්‍රහණයකර ඇති බව ද අගමැතිවරයා අවධාරණය කර සිටියේ ය.