“බලපෑම් කළාදැයි විගණකාධිපතිවරයාගෙන්ම අහන්න”

වීඩියෝ ශීර්ෂ වැකිය, "බලපෑම් කළාදැයි විගණකාධිපතිවරයාගෙන්ම අහන්න"

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයන් විගණකාධිපතිවරයාට තර්ජනය හෝ බලපෑම් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම කමිටුවේ සාමාජිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

එලෙස තර්ජනයක් හෝ බලපෑමක් එල්ලවූවා දැයි විගණකාධිපතිවරයා ගෙන් විමසන ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති කමිටුවෙන් පිටව යාමේදී සාමාජිකයන්ට එක් හේතුවක් පවසා පිටතට ගොස් ඊට වෙනස් අදහසක් පවසන බවට චෝදනා කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා විසින් එම තත්වය හඳුන්වනු ලැබුවේ දේශපාලන රංගනයක් ලෙසයි.

විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳ තමන්ට ගැටලුවක් මතු වූ බවත් ඒ සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදුවූ බවත් ඔහු කියා සිටියේය.

'දේශපාලන රංගනයක්'

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පිළිගත් නියෝජ්‍ය ඇමතිවරයා එම ගනුදෙනුවෙන් අයුතු ලාභ ලැබූ සමාගම පිළිබඳ අපරාධ පරීක්ෂණයක් සිදු කොට එහි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බව පවසයි.

ගනුදෙනුවට සම්බන්ධ සමාගමට දඬුවම් කර ඊට සම්බන්ධ බවට චෝදනා ලැබ ඇති හිටපු මහ බැංකු අධිපතිවරයා බේරා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරන බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනාව ගැන විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ තවමත් තම කණ්ඩායම ඉදිරිපත් කර ඇත්තේ නිර්දේශ දෙකක් පමණක් බවයි.

තමන් කිසිවිටක හොරුන් ආරක්‍ෂා නොකරන බව අවධාරණය කළ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයට හොරුන් රකින බවට චෝදනා එල්ල කිරීමට අනිකුත් පක්ෂ සැලසුම් කරන බවත් කියා සිටියේය.

(නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සමඟ සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව සඳහා ඉහත දැක්වෙන වීඩියෝව නරඹන්න)