මහින්ද රස්සා දුන්නෙ චීන ජාතිකයන්ට - කබීර් හෂීම්

මත්තල ගුවන් තොටුපොල

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ නිර්මාණය කරන ලද වරාය, ගුවන් තොටුපළ හෝ විදුලි බලාගාර ශ්‍රී ලංකාවට 'ශත පහක ආදායමක් ලැබෙන දේවල් නොවන' බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පවසයි.

හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපළ ඉදිකිරීමේදීත් ප්‍රදේශවාසීන්ට රැකියා ලබා දෙනු වෙනුවට රැකියා ලබා දුන්නේ චීන ජාතිකයන්ට බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය.

මාවනැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ රත්නපුරයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියේ දී හිටපු ජනාධිපතිවරයා පල කළ අදහස්වලට ප්‍රතිචාරය පළකරමින්.

'බල ලෝභය'

ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම පිණිස යළිත් බලය ලබාගන්නා බව හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ළඟදීම 'ඒකාබද්ධ ආණ්ඩුවක්' බවට පත්කරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන මහින්ද රාජපක්ෂ රත්නපුර රැලියට රැස්ව සිටි ජනතාව අමතමින් සඳහන් කළේය.

අමාත්‍ය කබීර් හෂීම්

ඡායාරූප මූලාශ්‍රය, Kabir Hashim

එහෙත් 'බල ලෝභයෙන් මත් වී' නැවත බලයට එන්නට උත්සාහ කරන බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා කළ අමාත්‍ය කබීර් හෂීම්, බලය හෙබැවූ දස වසර තුළ ඔහු සේවය කළේ සාමාන්‍ය ජනතාවට නොව 'සිය පවුලට, මිතුරන්ට සහ ජාවාරම්කාරයන්ට' බවත් වැඩිදුරටත් පැවසීය.

රත්නපුර රැලියේදී හිටපු ජනාධිපතිවරයා එල්ල කළ චෝදනා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැතත්, එයට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමේ සූදානමක් නැතැයි පොදු පෙරමුණේ මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.