ශ්‍රී ලන්කන්: පාඩු කළ අය ගැන පියවර නොගන්නේ ඇයි? -රාජිත

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතනවලට රුපියල් බිලියන ගණනින් පාඩු කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිදැ'යි තමන් නොදන්නා බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී බිබිසි කොළඹ වාර්තාකරු අසාම් අමින් රජයේ ආයතන ලැබූ පාඩු ජනතාව පිට පැටවීම ගැන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.
'කෝටි 2500ක් වන්දි'

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මිලදී ගැනීමට නියමිතව තිබූ ගුවන් යානා මිලදී නොගැනීමට වන්දි වශයෙන් පමණක් රුපියල් කෝටි 2500ක මුදල් ගෙවීමට සිදුවන බව ඊයේ මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ගුවන්යානා මිලදී ගතහොත් ලබන පාඩුව ඊටත් වඩා වැඩි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට සැක කරන පුද්ගලික ආයතනයක් 2016 මාර්තු 31 අවසන් කරන වසරට වාර්තා ගත අසාමාන්‍ය ලාභයක් ලැබීම ගැනද මෙහිදී ප්‍රශ්න කළ අතර අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.




