ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෝට් සිටි: 'නම වෙනස් වුනාට හානියේ වෙනසක් නැහැ'
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නම වෙනස් කළත් ඉන් සිදු වන හානියේ වෙනසක් සිදු නොවන බව පෝට් සිටි ජනතා ව්‍යාපාරය පවසයි.
වරාය නගර ව්‍යාපෘතිය නවතා දමන ලෙස බල කරමින් මීගමුව කොච්චිකඩේ පෝරතොටුව සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ ස්ථාන නවයකදී සෙනසුරාදා උද්ඝෝෂණ පැවැත්විණ.
වරාය නගරය ලෙස පසුගිය ආණ්ඩුව විසින් නම් කරන ලද ඉහත කී ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය නගරය ලෙස හඳුන්වනු ලැබුවත් ඉන් පරිසරයට හා ජනතාවට සිදු වන හානිය එලසම පවතින බවයි උද්ඝෝෂණයට එක් වූ පෝට් සිටි ජනතා ව්‍යාපාරයේ ෂෙරාඩ් ජයවර්ධන පියතුමා කියා සිටියේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර කර්මාන්තයට හා වෙරළාශ්‍රිත පරිසරයට සිදු වන හානිය කොතෙක් පෙන්වා දුන්නත් ඒ සඳහා රජයේ අවධානය යොමු නොවන බවයි ෂෙරාඩ් ජයවර්ධන පියතුමා පෙන්වා දෙන්නේ.
විදෙස් ආයෝජන සඳහා එවැනි නගරයක් අවශ්‍ය නම් මුහුද ගොඩ නොකොට ඒ සඳහා ගොඩබිමෙන් ඉඩමක් ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ යෝජනා කරති.
වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් මත්ස්‍ය සම්පතට සිදු වන හානිය හමුවේ සිය රැකියාව කර ගත නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බව ධීවර පවුල් පවසති.
'තාත්තලා මහ මුහුදට ගිහින් හම්බ කරන මුදල් වලින් අපේ දරුවෝ ඉගන ගන්නේ. අපේ දරුවන්ට මුනුබුරන්ට අධ්‍යාපනයට මුදල් නැතුව පාරේ හිඟන්න යන්න වෙන්නේ.' උද්ඝෝෂණයට එක් වී සිටි මවක් කියා සිටියාය.
උද්ඝෝෂණය සඳහා ආගමික නායකයන්, ධීවර සහ බහුජන සංවිධානවල සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටි බවයි ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.