අපරාධ වැඩි වීම පිළිබඳ පොලිස්පති විග්‍රහය

වීඩියෝ ශීර්ෂ වැකිය, අපරාධ වැඩි වීමේ බරපතළ තත්වයක් නැහැ - පොලිස්පති

අද සමාජය තුළ අපරාධ වැඩි වීමේ ප්‍රවණතාවක් නොව සිදු කෙරෙන අපරාධ මාධ්‍ය මගින් වැඩි වශයෙන් ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

විශේෂයෙන් සමාජ වෙබ් අඩවි එවැනි සිද්ධීන්ට විශාල ප්‍රචාරයක් දෙන බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

පසුගිය සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී අපරාධ වාර්තා වීමේ වර්ධනයක් නොමැති බව පෙනී යන බව පොලිස්පතිවරයා කියා සිටියේ ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වර්තමානයේ මාධ්‍යය ප්‍රබල ස්ථානයක ඇති හෙයින් අපරාධ පිළිබඳ මාධ්‍ය වාර්තා විශාල වශයෙන් පළ වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි පොලිස්පති පූජිත් ජයසුන්දර සඳහන් කළේ.

පොලිසියට එල්ල වන විවේචන කිසිම අවස්ථාවක නොසලකා නොහරින නමුත් ඇතැම් අවස්ථාවල පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පදනම් විරහිත මාධ්‍ය වාර්තා පළ වන ස්වභාවයක් දක්නට ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.