ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට 'ශ්‍රී ලංකාව අපොහොසත් වෙලා'

හම්බන්තොට පාසලේ දරුවන් විවිධ ප්‍රසංගය නරඹමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'දරුවන්ට සමානාත්මතාවයෙන් යුත්, ගුණාත්මක අතින් ඉහල අධ්‍යාපනයක් ලබා දීම සහතික කිරීමට ආණ්ඩුව පොහොසත් වෙලා'

දරුවන්ට වඩා යහපත් හෙට දිනයක් උදා කර දීම් වස් අධ්‍යාපන සංවර්ධනය කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමු කරමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ප්‍රධානම අභියෝගය බව සිවිල් සංවිධාන එකමුතුවක් පවසයි.

තිරසාර අධ්‍යාපන ඉලක්ක අනුව සමානාත්මතාවයෙන් යුත්, ගුණාත්මක අතින් ඉහල අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සහතික කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිවිල් සංවිධාන 60 කින් සමන්විත අධ්‍යාපන සංවර්ධන සංධානය පවසයි.

"තෝරාගත් සීමිත පාසල් ප්‍රමාණයකට පමණක් විශේෂ සැලකිලි දැක්වීම මත අධ්‍යාපනය තුල අසමානතාවය වර්ධනය වී ඇති බව," අධ්‍යාපන සංවර්ධන සංධානය පවසන්නේ ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්.

වීඩියෝ ශීර්ෂ වැකිය, තරඟ විභාග නැති ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය

'බරපතල කඩාවැටීමක්'

මේ තත්වය තුළ මූලික පහසුකම් පවා නැති ප්‍රාදේශීය පාසල් කිහිපයක් වැසී යන තත්වයක් උදා වී ඇති බවත් සිවිල් සමාජ ක්‍රියාධරයෝ පවසති.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින බරපතල වංචා සහ දූෂණ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට බඳවා ගැනීමේ ක්‍රියාදාමයේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතල කඩාවැටීමකට මුහුණ දී සිටින බවත් ඔවුහු පවසති.

හම්බන්තොට පාසලේ විවිධ ප්‍රසංගය
ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන් ලෙසින් සැරසී ළමා ගීත, ළමා නාට්‍ය සහ නර්තන ඉදිරිපත් කරන හම්බන්තොට විදුහලේ ගුරුවරියන්

ප්‍රමිතියකින් තොර පෞද්ගලික පාසල් පිළිබඳව රජය අවධානය යොමු නොකිරීම හේතුවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිරිහීම අධ්‍යාපන සංවර්ධන සංධානය පෙන්වා දෙන තවත් ප්‍රධාන ගැටලුවක්.

"මෙය ළමා ලෝකයට අහිතකර වන අතර එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියටද පටහැනිය," යනුවෙන්ද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ළමා වියට ගිය ගුරුවරු

හම්බන්තොට පාසලේ දරුවන් විවිධ ප්‍රසංගය නරඹමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, ගුණාත්මකභාවයෙන් පිරිහුණු අධ්‍යාපනය 'ළමා ලෝකයට අහිතකර වන අතර එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියටද පටහැනිය'

මේ අතර ජාත්‍යන්තර ළමා දිනයට සමගාමිව හම්බන්තොට විද්‍යාලයේ පැවති විශේෂ ප්‍රසංගයකදී ගුරුවරියන් හා ගුරුවරුන් දරුවන් ලෙසින් ළමා ගීත, ළමා නාට්‍ය සහ නර්තන ඉදිරිපත් කළ බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වාර්තා කරයි.

ප්‍රසංගය අවසානයේ හම්බන්තොට විද්‍යාලයේ ගුරුවරුන්ගේ වියදමින් පාසලේ සිටින 1500 ක් පමණ වන සියලුම දරුවන්ට ත්‍යාග ප්‍රදානය කෙරිණ.

"සාමාන්‍යයෙන් සිදුවන්නේ මේ වගේ දිනක ළමයින්ගේ වැඩ සටහන් ඉදිරිපත් කිරීම. නමුත් අපි අපේ දරුවන් වෙනුවෙන් විද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන් එකතුවෙලා මේ වැඩ සටහන සංවිධානය කළා," විදුහල්පති සුනිල් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.

හම්බන්තොට විද්‍යාලය මේ ආකාරයෙන් ලෝක ළමා දිනය සැමරූ සිවු වෙනි වතාව මෙය බවත් විදුහල්පතිවරයා පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, සාමාන්‍ය පෙළ කුසලතා මනින කඩඉම විය යුතුද?