ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'මාධ්‍යවේදියා සාහසික නොවිය යුතුයි'
කැමරාවක් ගුවනට නංවා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩ ගන්නා අවස්ථාවේ දර්ශන ලබා ගැනීමට උත්සාහ දැරීම මාධ්‍ය සදාචාරයට එකඟ නොවන බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.
කෙනෙකුගේ පෞද්ගලිකත්වය හා බැඳුණු සිදුවීමක් වාර්තා කිරීමේ දී මාධ්‍යවේදියා 'සාහසික නොවිය යුතු' බවයි ඔහු කියා සිටින්නේ.
'මේ වගේ කරුණු සම්බන්ධයෙන් රජයක් නීති පැනවිය යුතු නැහැ. නමුත් මාධ්‍යවේදීන් අතරම සම්ප්‍රදායන් ගොඩ නගා ගත යුතුයි.'
'ලසන්ත වෙනුවට අපිට ඇට සැකිල්ලක් පෙන්නනවා නම් ඒක හොඳද? ඒක බලන එක හොඳද? ඒක ලසන්තට හොඳද?,' මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රශ්න කළේ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙවැනි සංවේදී අවස්ථාවල සමාජයේ වගකිවයුතු වෘත්තිකයන් වශයෙන් ජනමාධ්‍යවේදීන් 'සිහි බුද්ධියෙන්' කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. හඬ පටය අමුණා ඇත.
ශ්‍රී ලංකාවේ වෘත්තිය සදාචාරය 'අවුලකට පත් වීම' මාධ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවන බවත් ඔහු පැවසීය.
'ලංකාවේ වෛද්‍යවරුන්ගේ සදාචාරය ගැන ලොකු අවුලක් තිබෙනවා. බදු ගෙවන්නන්ගේ ආයතනවල ලොකු සදාචාරාත්මක අවුලක් තිබෙනවා,'
'ලංකාවේ තිබෙන ප්‍රශ්නයක් තමයි ඇතැම් නඩුකාරයන්ට, දේශපාලනඥයාට, මාධ්‍යවේදියාට වෘත්තීයවේදියකු හැටියට තමන්ගේ සමාජ කාර්යභාරය පිළිබඳ හැඟීමක් නැහැ, ඒ පිළිබඳ අර්ථකතනයකුත් නැහැ.' ඔහු පවසයි.