රැකියාවෙන් පැන යන විදෙස් ශ්‍රමිකයන්ට සෞදියෙන් දඩයක්

සේවා ස්ථානයෙන් පැන යාමට උත්සාහ නොකරන ලෙස සෞදි අරාබියේ සේවය කරන ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙමින්, එසේ පලාගියහොත් සෞදි රියාල් දස දහසක (ශ්‍රී ලංකා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක්) දඩයක් ඔවුන්ට ගෙවීමට සිදු වන බව විදේශ නියුක්ති කාර්යාංශය පවසයි.
රැකියා ස්ථානයෙන් පැන යාමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමීණීමට අවශ්‍ය පිටවීමේ බලපත්‍රය ලබා ගැනීමට රියාල් දස දහසක දඩ මුදලක් අය කෙරෙන නව නීතියක් පනවා ඇති බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.
සේවයෙන් පැන ගිය බවට තමන් රැකියාව කරන ස්ථානයේ කාර්යමණ්ඩලය හෝ සිය හාම්පුතා විසින් එරට පොලිසියේ පැමිණිල්ලක් කර ඇති අවස්ථාවක එම පැමිණිල්ල සැලකිල්ලට ගෙන මෙම දඩ මුදල නියම කරන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දන්වා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva
මෙම නව නීතිය එරට සේවය කරන සියලුම විදෙස් ශ්‍රමිකයන්ට සැප්තැම්බර් මස මුල සිට ක්‍රියාත්මක වන බවයි සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදෙස් නියුක්ති කාර්යාංශය වෙත වාර්තා කර තිබෙන්නේ.
දෛනික දඩ මුදලක්
නේවාසික බලපත්‍රය කල් ඉකුත් වූ අවස්ථාවක දී පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්නම් රටින් පිටවීමේ බලපත්‍රය ලබා ගැනීම සඳහාත් ඉහත කී දඩ කොන්දේසි බල පැවැත්වෙන බවයි විදෙස් නියුක්ති කාර්යාංශය සිය නිවේදනයේ සඳහන් කළේ.
ඊට අමතරව සංචාරක වීසා මත රැකියා සඳහා සෞදි අරාබි නීතිය කඩ කරමින් පැමිණ සිටින සංක්‍රමණිකයන්ද වීසා කාලය අවසන් වීමෙන් පසු දිගටම රට තුළ රැඳී සිටින විදේශිකයන් ද රටින් පිට වන තුරු දිනපතා දෛනික දඩ මුදලක් ගෙවිය යුතු වෙයි.
සෞදි අරාබියේ සේවය කරන සියලුම විදේශික ශ්‍රමිකයන් විසින් මෙම නව නීතිය අනුව කටයුතු කිරීම අනිවාර්ය බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් කර ඇති බැවින් කිසි විටෙක සිය සේවා ස්ථානයෙන් පැන යාමට උත්සාහ නොකරන ලෙසත්, සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව යාමෙන් වැළකී සිටින ලෙසත්, සිය වීසා බලපත්‍රය කල් ඉකුත් වීමෙන් පසු රට තුළ රැඳී සිටීමෙන් වළකින ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සෞදියේ මේ වන විට රැකියා වල නියුතු සහ විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන්ට උපදෙස් ලබා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබේ.




