ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි - ජාතික හෙළ උරුමය
දශක ගණනාවක් මුළුල්ලේ පැවති දේශපාලන ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම රජයක වගකීම බව ජාතික හෙළ උරුමය පවසයි.
ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඒ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේ පැවති අතුරුදහන් වූවන් සම්බන්ධ ජාතික දින සැමරුම අමතා අදහස් පළ කරමිනි.
යුද ගැටුම්වලින් අතුරුදහන් වූ උතුරේ සාමාන්‍ය වැසියන් මෙන්ම ආරක්ෂක හමුදා සාමාජිකයන් 5600 ක්ද යුද්ධයේදී අතුරුදහන් වී ඇති බව පෙන්වා දුන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ඒ සියලු දෙනාට අත් වූ ඉරණම සොයා බැලිය යුතු බවත් සඳහන් කළේය.
අතීතය පිළිබඳ 'හාරා අවුස්සා තුවාලය යළි පෑරීමට' සූදානම් නැති වුවත් දෙමාපියන් ඇතුළු ඥාතීන්ට සිය ආදරනීයන් අමතක කිරීමේ හැකියාවක් හා සූදානමක් නැති බැවින් ඔවුන්ට යුක්තිය ඉටු විය යුතු බවත් ඔහු පැවසීය.
"අපි අමතක කරන්න සූදානම්. ඒත් මේ දෙමාපියන් තමන්ගේ ප්‍රියයන් අමතක කරන්න සූදානම් නෑ. ඔවුන්ට යුක්තිය ඉෂ්ට විය යුතුයි," ඔහු පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) සම්බන්ධ පනත සම්මත කර ගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය විරෝධ පල කිරීම දැඩි විවේචනයට ලක් කළේය.
89 යුගයේ අතුරුදහන් කිරීම්වලට විරුද්ධව රට තුල පමණක් නොව ජාත්‍යන්තරයට ගොස් හඬ නැගූ 'මානව හිමිකම් වීරයා' වර්තමානයේ මෙවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.
"සමහර වෙලාවට එයාල ඉතිහාසය දන්නේ නැතුව ඇති. සමහර වෙලාවට මේ පනත තේරුම් ගන්න බැරුව වෙන්න ඇති," අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසීය.