ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'කෝප් කමිටු වාර්තාව ලැබෙන තෙක් නැවත පත්වීමක් එපා'
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව ) සිදු කරන නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන තෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නොකරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මුදල් මණ්ඩලය වෙත දන්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.
කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවය අද මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විය.
නව රජය බලයට පත් වූ පසු එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල්ගේ ඉතිරි සේවා කාලය ආවරණය කිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් පත් කරනු ලැබුණි.
ඒ අනුව ඔහුගේ සේවා කාලය ජුනි මස 30 වෙනිදා අවසන් වීමට නියමිත අතර ඔහුට නැවත සේවා දිගුවක් ලබා නොදෙන ලෙස ආණ්ඩුවේ ඇතැම් පාර්ශව පවා ඉල්ලීම් කරමින් සිටින්නේ මහ බැංකු බැදුම්කර සිදුවීම හරහා ඔහුට එල්ලවූ චෝදනා හේතුවෙනි.
මෙම ඉල්ලීම හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ සංවිධානවලට දැන්වූයේ පරීක්ෂණ අවසන් වන තුරු මහ බැංකු අධිපතිවරයා නැවත පත් නොකර බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය අද කොළඹ මුදල් අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයෙදී මෙම පරීක්ෂණය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි සදහන් කළේ.
මෙම විරෝධතාව අතරතුර පොලිස් යකඩ බැරියරයකට හිර වීම හේතුවෙන් තුවාල ලැබූ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.