'FCID වෙනුවට තවත් ආයතනයක්, මහ බැංකු අධිපති යායුතුයි'

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙනුවට එයට වඩා බලතල හිමි වෙනත් ආයතනයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
FCID පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි කරන බවට පළ වන වාර්තා නිවැරදි නොවන බවද කැබිනට් ප්‍රකාශක සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
"ජනවාරි 8 පොරොන්දු පත්‍රයේ අපි සඳහන් කර තිබෙනවා, මහා පරිමාණ මුල්‍ය චෝදනා විමර්ශනයට වෙනමම පරීක්ෂණ ආයතනයක් පිහිටුවනවා කියලා. ඒ සඳහා වන අන්තර්වාරික එකක් තමයි අපි FCID කියල දැම්මේ," අමාත්‍යවරයා පැවසීය.
"ඊට වඩා පුළුල් වූ ශක්තිමත් එකක් ඉදිරියට අපි පිහිටුවනවා. එතකන් FCID එක තියෙනවා.'

ඡායාරූප මූලාශ්‍රය, CBSL
මූල්‍ය වංචා සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණ පැවැත්වීම පිණිස වඩාත් ශක්තිමත් නීති අවශ්‍ය බැවින්, පිහිටුවන නව ආයතනය ඒ සියළු බලතලවලින් සමන්විත ස්ථිර එකක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් FCID පරීක්ෂණ නිමා වී නොමැති බැවින් එහි නිල කාලය තවත් දීර්ඝ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා මීට ඉහතදී සංදේශයට කියා සිටියේ.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිල කාලය අවසන් වූ පසු ඔහුට සේවා දිගුවක් ලබාදෙන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ, මහා බැංකු අධිපතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුය යන්න සිය මතය බවයි.
"මම පත්කිරීමේ ඉඳලම විරුද්ධයිනේ? තමුන්නාන්සේලා විරුද්ධ වුනේ දකින්න ඉස්සෙල්ලානේ මම දකින්න කලින්ම විරුද්ධ වුනා," ඔහු පැවසීය.
"2002 ආණ්ඩුවේ තිබුණු තත්ත්වය අනුව කැබිනට් මණ්ඩලයට ඕක ආපු වෙලාවෙම මම විරුද්ධ වුනා. කොහොම හරි යහපාලන රජය යහපාලන තීන්දුවක් ගනීවි. සේවා දිගුවක් ලබා දෙන එකක් නැහැ කියන එකයි මගේ මතය."
කෙසේ නමුත් මහා බැංකු අධිපති ධුරයේ වෙනසක් සිදු නොවනු ඇති බවයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මීට ඉහතදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.









