ශ්‍රීලංගම ණය බර 'මිලියන 16,000 ක් දක්වා වැඩි වෙලා'

ඡායාරූප මූලාශ්‍රය, Wikipedia
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 16,000 දක්වා වැඩි වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඒ බව අනාවරණය කළේ, ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී මතුකෙරුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් .
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 36,000 ක සේවක පිරිසෙන් 12,000 ක් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් ඉවත් කිරීමට සූදානම් වන බවට චෝදනා කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කිහිපයක් අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ තිබුණි.
එයට පිළිතුරු දුන් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා: "රුපියල් මිලියන 69 ක දෛනික ආදායම එදිනෙදා වියදම් පියවාගැනීමට වත් ප්‍රමාණවත් නැහැ. එයට අමතරව ආයතනය පවත්වා ගැනීමට රුපියල් මිලියන 1350ක මුදලක් රජයෙන් මාසිකව ලබාදෙනවා," පැවසීය.
'ස්වේච්ඡාවෙන්'
"පසුගිය වසර පහේම සේවකයන්ගෙන් කපාගන්නා ලද අර්ථසාධක මුදල් පවා මහ බැංකුවට යවා නැහැ. ගත්ත අමතර කොටස් සහ අනිකුත් ණය බැලුවහම දැනට මිලියන 16,000 ක ණය ගෙවන්න තියෙනවා."
2015 සැප්තැම්බර් මාසයේ සිට සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් මාසිකව නිසි ලෙස තැන්පත් කිරීමට රජය කටයුතු කළ බව පැවසූ අමාත්‍යවරයා සේවකයන් බලෙන් ඉවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව අවධාරණය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, NewsFirst
"ස්වේච්ඡා ක්‍රමයක් හදල තියෙන්නේ කැමති නම් යන්න පුළුවන්, නැතිනම් ඉන්න පුළුවන්."
එහෙත් සේවකයන් 12,000 ක් ඉවත්කිරීමේ සූදානමක් පවතින බවයි, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ.
සේවකයන් ස්වේච්ඡාවෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක නොකළහොත් ඒ බරත් ජනතාව පිට පැටවෙනු ඇති බව විවාදයට එක්වෙමින් අදහස් පළ කළ අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
"අපිට එක්කෝ බදු වැඩිකරන්න පුළුවන්. නැත්නම් මේ ඇමතිතුමා කිව්වා සැලැස්ම ක්‍රියාත්මක කරලා රජයේ අයිතිය තියාගෙන වෙනත් සමාගමක් මාර්ගයෙන් පාලනය කිරීම. මෙතන අපි බලන්නේ රජයේ අයිතියත් තියාගෙන ජනතාවට බදු වැඩි නොකර කටයුතු කිරිමට," අගමැතිවරයා පැවසීය.
පසුගිය හය වසර මුළුල්ලේ සේවකයන්ගේ අයකරගත් අර්ථසාධක මුදල් නිසි ලෙස මහ බැංකුවේ තැන්පත් කර නොමැති බවද අගමැතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළහ.
එබැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මුහුණ දේ සිටින ආර්ථික අර්බුදයට පසුගිය පාලනාධිකාරිය වගකිව යුතු බවත් ප්‍රවාහන අමාත්‍යවරයා අවධාරණය කළේය.








