හමුදාව සංහිඳියාව සඳහාත් 'විශේෂ කාර්යයක් ඉටු කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S.KODIKARA
එල්ටීටීඊ යට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළ ආකාරයෙන්ම, යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමෙහිලාත් ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්ය භාරයක් ඉටු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එසේ රට තුල නැවත යුද්ධයක් ඇති නොවීම පිණිස පශ්චාත් යුද සමයක 'ඉතා අපහසු කාර්ය භාරයක්' ඉටු කරමින් සිටින අවස්තාවක යුදවාදීන් සිය රජයට පදනම් විරහිත චෝදනා එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව පැවසුවේ එල්ටීටීඊ යට එරෙහි යුද්ධය නිමා වී වසර හතක් ගතවීම නිමිති කොට බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ රණ විරු මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ සමරු වැඩසටහන අමතමින්.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S.KODIKARA
'ශ්‍රී ලංකාවේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්' අනුස්මරණය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන අතරම ආබාධිත සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන්ද සිය රජය කැපවී සිටින බවත් ඔහු අවධාරණය කළේය.
විශේෂයෙන්ම රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට උත්සාහ දරන විට ආණ්ඩුව 'රණ විරු දඩයමක' යෙදෙන බවට විරුද්ධවාදීන් පෝස්ටර් පවා ගැසූ බවත් ජනාධිපතිවරයා පැවසීය.
"රණ විරු දඩයමක් කරනවයි කියල පෝස්ටර් ගහපු අයට උපදෙස් දෙමින් පිටිපස්සේ ඉන්න අය යුද්ධය ජයග්‍රහණය කළ, යුද්ධය මෙහෙය වූ රණ විරුවා බොරු චෝදනා දාල, හිරබත් කන්න හදල ඒ කළ දේවල් මේ රටේ ජනතාවගේ මතකයේ තියෙනවා," ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම පිණිස සමස්ත රටවාසී ජනතාවම ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් පැවසීය.




