සිවරාම්: ඝාතනය වූ මාධ්‍යවේදීන්ට 'මේ රජයෙනුත් යුක්තිය නෑ'
නව රජය බලයට පත්වීමට පෙර ප්‍රකාශ කල පරිදි මාධ්‍යවේදී සිවරාම් වැනි ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත්වී ඇති බව වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ පවසයි.
ඔහු මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණයකට සහභාගී වෙමින්.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදීනට යුක්තිය ඉටුකරනවා වෙනුවට ඔවුන්ට සහන සැලසීමට කමිටුවක් පත් කර ඇති බවයි වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී පැවසුවේ.

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 11ක් සපිරීම නිමිත්තෙන් ‘‘සිවරාම් මරා දමා වසර 11යි, ඝාතකයින් නිදැල්ලේ, පරීක්ෂණ යළි අරඹනු‘‘ මැයෙන් උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි
මීට වසර 11 කට පෙර මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් කොළඹ දී ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමිනුයි අද මාධ්‍ය සංවිධාන එකමුතුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ.
' සහනවලට පෙර අපට යුක්තිය අවශ්‍යයි, ජනාධිපතිවරයාගෙන් අපි අහන්නේ මරා දැමු ජනමාධ්‍යවේදියෙක් මිල කරන්න පුළුවන්ද කියල. අපරාධ කරුවන්ට තවදුරටත් නිදැල්ලේ ඉන්න ඉඩ දෙන්න බැහැ' යනුවෙන් ඔහු පැවසීය.

මෙම විරෝධතාවයට එක්වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේ ආණ්ඩුව දිනෙන් දින මාධ්‍යවේදී ඝාතන ගැන සිදුවන පරීක්ෂණ යට ගසමින් සිටින බවයි.
මෙම අවස්ථාවට එක්ව සිටි වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රියගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලේ LTTE සංවිධානයට සහය දීම හේතුවෙන් මාධ්‍යවේදී සිවරාම් ඝාතනය කල බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්.
' සිවරාම් මාධ්‍යවේදියෙක් ලෙස ඒ යුධ වැදුණු පිරිස එක්ක සම්බන්ධතා තිබුණා වෙන්න පුළුවන්, ඒක මරලා දන්න හේතුවක්ද, සම්බන්ධතා තිබ්බත් ඒක ඔහුගේ වෘත්තීය සඳහා කරන එකක්, මරලා දන්නා කාටවත් අයිතියක් නැහැ නැහැ' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.
විරෝධතාවය සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් දෙපිරිසම එක්ව සිටියහ.