එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සංචාරයක

අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ

ඡායාරූප මූලාශ්‍රය, UN

ඡායාරූප ශීර්ෂ වැකිය, අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ

වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂඥයන් පිරිසක් අප්‍රේල් 29 වැනි දින සිට මැයි 07 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී අදාළ අංශයන්හි මෑත යුගයේ වර්ධනයන් විමසා බැලීමට නියමිත බවයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

"මානව හිමිකම්වලට ගරුකිරීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් මෑතදී ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් අපි දිරිමත් වූයෙමු," බවයි ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරන්නේ.

වද හිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස්

ඡායාරූප මූලාශ්‍රය, UN

ඡායාරූප ශීර්ෂ වැකිය, වද හිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස්

"අධිකරණයේ සහ නීති වෘත්තියේ ස්වාධීනත්වය සහතික කිරීමෙහිලා මෙන්ම වද හිංසා තුරන්කිරීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සහ ප්‍රධාන පාර්ශවයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් අපි බලාපොරොත්තු වන්නෙමු."

ආණ්ඩුවේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ සංචාරය කරන දූත පිරිස සිය සංචාරයේදී කොළඹ මෙන්ම උතුරු, නැගෙනහිර සහ වෙනත් පළාත්වලද සංචාරය කිරීමට නියමිතයි. රැඳවියන් රඳවා සිටින ස්ථාන පරීක්ෂා කිරීම සිය සංචාරයේ ප්‍රධානම අංගයක් බවයි විශේෂ නියෝජිතයන් පවසන්නේ.

ඔවුන්ගේ සංචාරයේ නිරීක්ෂණ ඇතුලත් පූර්ණ වාර්තා දෙකක් ලබන වසරේ මාර්තු සහ ජුනි මාසවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරවලට ඉදිරිපත් කිරීමට නියමිතයි.