
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර රන් පදක්කම් දෙකක් දිනා දී තමන් ක්‍රීඩාවෙන් සමුගන්නේ සතුටු සිතෙන් බව අනූෂා කොඩිතුවක්කු පවසයි
ඉතිහාසයේ පළමු වතාවට කාන්තා බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් ශූරතාවලියට එක්වූ අවස්ථාවේ එයට සහභාගි වීමට නොලැබීම ගැන කනගාටු වන බව දෙවන වතාවටත් ජාත්‍යන්තර රන් පදක්කමක් දිනා ක්‍රීඩාවට සමු දෙන අනූෂා කොඩිතුවක්කු පවසන්නීය.
ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර බොක්සිං ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 48 ට පහල ෆ්ලයිවේට් ඉසව්වුවෙන් රන් පදක්කම දිනාගත් අනූෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණම බොක්සිං ක්‍රීඩිකාවයි.
ශූරතාවලියෙන් අනතුරුව යලි ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් තොටුපොළේ සිට නිවස බලා යන අතරවාරයේ බීබීසී සංදේශය හා සංවාදයකට එක්වූ ඇය කියා සිටියේ, තමන් ක්‍රීඩාවෙන් සමුගන්නේ සතුටු සිතෙන් බවයි.
"මගේ මේ දෙවෙනි රන් පදක්කම ලංකාවට ගෙනාව. ඇත්තටම මේ ජයග්‍රහණය ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ලංකාවේ බොක්සිං සංගමයටයි, විශේෂයෙන්ම ඩයන් ගෝමස් මහත්තයටයි මොකද මේ අවස්ථාව මඟ හරින්නේ නැතුව අපිට ලබා දුන්නට," ඇය පවසන්නීය.
ඊජිප්තුව, හංගේරියාව, ශ්‍රී ලංකාව, ෆින්ලන්තය, පෝලන්තය, සර්බියාව, ඇල්ජීරියාව, මොරොක්කෝව සහ සත්කාරක ටියුනීසියාව සහභාගි වූ මේ තරඟාවලියේදී ෆින්ලන්තය නියෝජනය කළ ක්‍රීඩිකාවයි අනූෂා කොඩිතුවක්කු විසින් පරාජයට පත් කරනු ලැබුවේ.
ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳව අදහස් දක්වන අනූෂා: " මම ගොඩක් මේ තරඟය බලාපොරොත්තුවෙන්ම හිටියේ කොහොම හරි මහන්සි වෙලා රන් පදක්කමක්ම අරන් දීලා නවත්වන්න. ඉතින් මට ඒක කර ගන්න පුළුවන් වුනා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක තමයි නවත්තන්න සුදුසුම වෙලාව කියල," යනුවෙන් ද සඳහන් කළාය.












