විස්සයි විස්ස ලෝක කුසලානයේදී බදාදා රාත්‍රියේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට දැවැන්ත තර්ජනයක් එල්ල කළ සිය කණ්ඩායම එයින් පන්නරය ලබා සිකුරාදා රාත්‍රියේ ලෝක ශූර එංගලන්තයට ද එරෙහිව තියුණු තරඟයක් දීමට සූදානම් බව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු පවසයි.
විස්සයි විස්ස තරඟවලින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව මීට කලින් සිය කණ්ඩායම තරඟ වැදී තිබෙන්නේ කිහිප වතාවක් පමණක් බව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි පුහුණුකරු කබීර් ඛාන්, සිය කණ්ඩාමට ඊට වඩා විස්සයි විස්ස තරඟ ලැබුනේ නම් බදාදා තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමටද හැකියාව තිබුණු බව පැවසීය.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු 156 ට පිළිතුරු වශයෙන් ඇෆ්ගස්නිස්තානය සියලු දෙනා දැවී ලකුණු 136 ක් රැස් කළේ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කිරීමට පවා ඔවුන් සමත් වේවිදැයි ඇතැම් අවස්ථාවල මාධ්‍ය කුටියේ මාධ්‍යවේදීන් පවා වරෙක මවිත කරමින්.
කලාපයේ දේශගුණය
"ඇත්තටම එහෙම වුනානම් එක මුළු තරඟාවලියේම උණුසුම් මාතෘකාව වෙන්න තිබුනා," බව කබීර් ඛාන් පැවසුවේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවීම සඳහා මා ඔවුන් නැවතී සිටින හෝටලයට ගිය අවස්ථාවේදී.
මධ්‍යම රාත්‍රියට ආසන්නය දක්වාම ක්‍රීඩාකළ ක්‍රීඩකයන් බ්‍රහස්පතින්දාවේ විවේක ගන්නා බව පැවසූ කණ්ඩායම් භාර නිලධාරීන් මට හමුවීමට අවසථාව ලබාදුන්නේ පුහුණුකරු සමග පමණයි.
ලෝක ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමි වී ඇති බව පෙන්වාදෙන කබීර් ඛාන්, විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයෙන් ලැබූ පන්නරයත්, එංගලන්තයට වඩා කලාපයේ දේශගුණය සහ තණතීරු තම කණ්ඩායමට හුරු පුරුදු වීමත් නිසා සිකුරාදා තරඟයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වඩාත් දක්ෂ ලෙසින් ක්‍රීඩා කරනු ඇතැයි යන්න තමාගේ මෙන්ම ක්‍රීඩකයන්ගේද බලාපොරොත්තුව බවද බීබීසී සංදේශයට පැවසීය.












